14 Common Questions on Meditation

5 අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේගේ ජීවිත මතක සටහන් පොත කියවන්න ලැබීම, අපිට ලොකු භාග්‍යයක් ස්වාමින් වහන්ස. ඒ පොත කියවන කොට අපිට තේරෙනවා නා උයනේ අරියධම්ම ලොකු ස්වාමින් වහන්සේ භාවනාවෙන් හුගාක් දියුණු ස්වාමින් වහන්සේ නමක් බව. මාර්ග ඵලයන්ට මෙහා යන්න තියෙන උපරිම ස්ථානය වන සංඛාර උපේක්ඛාව දක්වා ස්වාමින් වහන්සේ භාවනාව දියුණු කරගෙන තියෙන බව එයින් අපට දැනගන්නට ලැබුණා. බුද්ධත්වය ලැබීමේ ප්‍රාර්ථනාවක් ඒ ස්වාමින් වහන්සේට නොතිබුණා නම්, අද අපිට ඒ ස්වාමින් වහන්සේව රහතන් වහන්සේ නමක් ලෙසින් වන්දනා මාන කරන්නත් තිබුණා. වර්තමානයේ සමහර අයගේ අදහසක් තියෙනවානේ දැන් කාලයේ මාර්ග ඵල ලබන්න බැරි බව. අපිට හිතෙන්නේ නම්, ස්වාමින් වහන්සේ ඒකට හොඳ පිළිතුරක් ආදර්ශයෙන්ම දීල තියෙනවා. බුද්ධත්වය ලබන්න ස්වාමින් වහන්සේගේ ප්‍රාර්ථනා නොතිබුණා නම්, අද කාලෙත් රහතන් වහන්සේලා පහළ වෙන බව මෙයින් මනාව ප්‍රකට වෙන්න තිබුණා. වර්තමානයේ රහතන් වහන්සේලා කියාගන්නා අයගේ දහමේ මුල මැද අග පැහැදිලි කමක් නැහැ. කොහොමද ඉතින් ඒ දහම අනුගමනය කරන්නේ. ඒත් අපේ ස්වාමින් වහන්සේ නිහඬවම ගුණපුරා, නිහඬවම ඒ මතක සටහන් අනාගත පරපුර වෙනුවෙන් ලියාතබා තියායන්න ඇත්තේ, අපිව දිරිගන්වන්න වෙන්න ඇති නොඅනුමානයෙන්ම. ඒ පොතේ ඇති කරුණු හරිම පැහැදිලි. දහමක් වඩන්නේ මොන ආකාරයෙන්ද කියලා මුල මැද අග පැහැදිලිව තියෙනවා. ස්වාමින් වහන්ස, අප කෙරෙහි අනුකම්පාවෙන් නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේගේ භාවනා අත්දැකීම් පිළිබඳව ඔබ වහන්සේද දන්නා කරුණු විටින් විට හරි අපටද ප්‍රකාශ කරන්නේ නම් මැනවි. එය භාවනාවන් දියුණු කරගැනීමට වෙර දරන අපටද මහත් උපකාරයක් වෙවි.

6 ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ භාවනාවන් දියුණු කරගැනීමට අපට ලබාදෙන උපදෙස් ඉතාම පැහැදිලියි. නමුත් ගිහියන් වන අප ඉන්නේ කාමයෙන් අන්ධ වෙච්ච ලෝකයක. මේ ලෝකයේ දහමක් වඩන්න පුළුවන්ද කියලා හිතන්නත් අමාරුයි. ඉන්ටනෙට් ආදී දේවල් වල ඉතාම කාමුක දේවල් තියෙන්නේ. තාක්ෂණයේ දියුණුවත් එක්ක, ඒවාට දැන් දැන් අපේ අනාගත පරපුරත් ඇබ්බැහි වෙලයි තියෙන්නේ. ඉතින් මේ දහම කොපමණ පිරිසිදුව පැවතියත්, කොමපණ පිරිසිදුව දේශනා කළත් ඒවා අනුගමනය කරන්නට සිටින පිරිස් මෙසේ වල්මත් වෙලා තියෙන එක අභාග්‍යයක් ස්වාමින් වහන්ස. මෙසේ පැවතීම සාසනයේ දියුණුවට, බැබලීමට ලොකු බාධාවක් බව පේනවා. බෞද්ධ සංස්කෘතියේ විනාශයටත් මෙය හේතුවක් බව පේනවා. ඊට අමතරව මේ ගිහි සමාජයේ භාවනා කරන අය ඉන්නව නම් ඒ ඉතාම සුළු පිරිසයි. තරමක් හෝ පිනක් දහමක් කරන ඊට වඩා වැඩි පිරිසක් ඉන්නවා. හැබැයි පන්සිල්වත් නොරකින පිරිස තමා ඉතාම වැඩි ස්වාමින් වහන්ස. මේ තියෙන වටපිටාවත් එක්ක අපගේ භාවනාවන් දියුණු කරගන්නේ කෙසේද? අනාගත පරපුරට මේ දහම දායාද කරන්නේ කෙසේදැයි අනුකම්පාවෙන් පැහැදිලි කරදෙන සේක්වා!