Categories
Articles - Sinhala

වේදල්ල (දහතුන් වන කොටස)

මෛත්‍රී භාවනව 2 කොටස - මෛත්‍රී භාවනාව ආරම්භය

පෙර සාකච්ඡාවෙදි අපි මෛත්‍රී භාවනාව සඳහා සූදානම් වෙන විදිය ගැන කතා කළා. අද අපට මෛත්‍රී භාවනාව ආරම්භ කරන විදිය ගැන කියා දෙන සේක්වා කියල ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා.

පිළිතුර : තෙරුවන් සරණයි හැමෝටම! කලින් දවසෙ කතා කළ විදියට සූදානම් උනායින් පසුව මුලින්ම තමන්ට මෛත්‍රී වඩන්න ඕන. එහෙම කරන්නෙ අනෙක් අයට මෛත්‍රී වැඩීම සඳහා තමාව සාක්ෂි වශයෙන් තබා ගැනීම සඳහායි. මෙසේ තමන්ට මෙත් වඩා, තමන් කැමති වන්නා වූ ඒ අවෙරීබව – තරහ නැතිබව – දුක් කරදර නැති බව, සුවපත් බව ආදිය තමාගේ ප්‍රියයාටත් මධ්‍යස්ථයාටත් සතුරාටත් ලබා දීමට තරම් කැමැත්තක් තමන්ගේ සිතේ ඇති කරගන්න ඕන. එහෙම නැතිව මුලින්ම සියලු සත්වයින්ව අරමුණු කර මෛත්‍රී වැඩුවොත් එය අසාර්ථක වෙන්න පුලුවන්. මේ භාවනාව ඉතාම පිලිවෙලකට සිද්ධ කරන්න ඕන. එතකොටයි අපට බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබෙන්නේ. මෙසේ පළමුව තමාට මෙත් වැඩිය යුතු ආකාරය විශුද්ධිමාර්ගයේ “සබ්‌බපඨමං පන ‘‘අහං සුඛිතො හොමි නිද්‌දුක්‌ඛො’’ති වා, ‘‘අවෙරො අබ්‍යාපජ්‌ජො අනීඝො සුඛී අත්‌තානං පරිහරාමී’’ති වා එවං පුනප්‌පුනං අත්‌තනියෙව භාවෙතබ්‌බා.” (මෛත්‍රී වඩන්නා විසින් සියල්ලට පළමු ව “මම සුවපත් වෙම්වා, නිදුක් වෙම්වා” කියා හෝ “මම වෛර නැත්තේ වෙම්වා, තරහ නැත්තේ වෙම්වා, උපද්‍ර‍ව / දුක් කරදර නැත්තේ වෙම්වා. සුව සේ ආත්මය පරිහරණය කරන්නෙමි” කියා හෝ නැවත නැවත තමන් කෙරෙහි ම මෛත්‍රී වැඩිය යුතු.) කියල දක්වලා තියෙනවා. මෙසේ මෛත්‍රී වැඩීම සඳහා යොදා ගන්නා වාක්‍ය පාඨ 4ක් ග්‍රන්ථවල ප්‍රධානව දක්වා තිබෙනවා.

  1. අහං අවෙරො හොමි. (මම වෛර නොවෙම්වා)
  2. අහං අබ්‍යාපජ්ජො හොමි. (මම තරහ නොවෙම්වා)
  3. අහං අනීඝො හොමි. (මම දුක් කරදර / උවදුරු  නැත්තේ වෙම්වා)
  4. අහං සුඛී අත්තානං පරිහරාමි. (මම සුවපත්  වෙම්වා)

මෙසේ මේ වාක්‍ය හතරෙම අර්ථය පැහැදිලි වන විදියට තමන්ට මෛත්‍රී වඩා මෛත්‍රිය තහවුරු කරගත් පසුව ගරු සම්භාවනීය කෙනෙක්ව තෝරාගන්න ඕන. තමන් පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනෙක්වත්, තමන් ගැහැණු කෙනෙක් නම් ගැහැණු කෙනෙක්වත් තෝරා ගන්න ඕන. තමන්ගේ ගුරුවරයෙක්, ගරු කටයුතු ස්වාමින් වහන්සේ කෙනෙක් හෝ සිල් මෑණි කෙනෙක් වගේ කෙනෙක්ව තෝරා ගන්න පුලුවන්. ඉන් පසුව ඒ තෝරා ගත් කෙනා තමන් ඉදිරියේ ප්‍රිය මනාප ආකාරයෙන් සිටින ආකාරය සිතින් බලමින් ‘‘එස සප්‌පුරිසො සුඛී හොතු නිද්‌දුක්‌ඛො’’තිආදිනා නයෙන මෙත්‌තා භාවෙතබ්‌බා. යනාදී ලෙස දක්වා ඇති පරිදි “මේ සත්පුරුෂයින් වහන්සේ සුවපත් වේවා” යනාදී ක්‍රමයට මෛත්‍රී වඩන්න පුලුවන්. 

මෙහිදීත් මුලින්ම ඉහත දැක්වූ වාක්‍ය හතරෙන් පළමු වාක්‍ය එනම් “වෛර නොවේවා” යන පාඨය අරගෙන “අයං සප්පුරිසො අවෙරො හොතු” (මේ සත්පුරුෂයින් වහන්සේ වෛර නැත්තෙක් වේවා) යනුවෙන් බොහෝ වේලාවක් මේ පාඨයෙන්ම මෛත්‍රී කරන්න ඕන. මේ විදියට එකම අරමුණක බොහෝ වේලාවක් මෛත්‍රිය පුරුදු කරන විට අවශ්‍ය හේතු සම්පත් සම්පූර්ණ වෙලා තියෙනව නම් ධ්‍යාන ලබන්නටත් හැකියාව ලැබෙනවා. මෙසේ එක් පුද්ගලයෙක් අරමුණු කරගෙන පමණක් වුවත් ධ්‍යාන දක්වාම මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළ හැකි බව ග්‍රන්ථවල දක්වා තිබෙනවා. මෙසේ ගරු සම්භාවනීය අයට හැකි නම් ධ්‍යාන දක්වාම මෛත්‍රී වඩා ඉන් අනතුරුව අතිප්‍රිය අය, මධ්‍යස්ථ අය, වෛරී අය යන පිලිවෙලට ධ්‍යාන දක්වාම මෛත්‍රී වැඩිය හැකිය. ඒ බව විශුද්ධි මාර්ගයේ

තස්‌මා සක්‌ඛිභාවත්‌ථං පඨමං අත්‌තානං මෙත්‌තාය ඵරිත්‌වා තදනන්‌තරං සුඛප්‌පවත්‌තනත්‌ථං ය්‌වායං පියො මනාපො ගරු භාවනීයො ආචරියො වා ආචරියමත්‌තො වා උපජ්‌ඣායො වා උපජ්‌ඣායමත්‌තො වා තස්‌ස දානපියවචනාදීනි පියමනාපත්‌තකාරණානි සීලසුතාදීනි ගරුභාවනීයත්‌තකාරණානි ච අනුස්‌සරිත්‌වා ‘‘එස සප්‌පුරිසො සුඛී හොතු නිද්‌දුක්‌ඛො’’තිආදිනා නයෙන මෙත්‌තා භාවෙතබ්‌බා. එවරූපෙ ච පුග්‌ගලෙ කාමං අප්‌පනා සම්‌පජ්‌ජති, ඉමිනා පන භික්‌ඛුනා තාවතකෙනෙව තුට්‌ඨිං අනාපජ්‌ජිත්‌වා සීමාසම්‌භෙදං කත්‌තුකාමෙන තදනන්‌තරං අතිප්‌පියසහායකෙ, අතිප්‌පියසහායකතො මජ්‌ඣත්‌තෙ, මජ්‌ඣත්‌තතො වෙරීපුග්‌ගලෙ මෙත්‌තා භාවෙතබ්‌බා. භාවෙන්‌තෙන ච එකෙකස්‌මිං කොට්‌ඨාසෙ මුදුං කම්‌මනියං චිත්‌තං කත්‌වා තදනන්‌තරෙ තදනන්‌තරෙ උපසංහරිතබ්‌බං.” 

(එ බැවින් සාක්‍ෂි පිණිස පළමු කොටැ තමා කෙරෙහි මෙත් වැඩිය යුතු ය. ඉක්බිති සුවසේ මෙත් පවත්වනු පිණිස තමහට ප්‍රිය මනාප ගරු භාවනීය ආචාර්යවරයෙක් හෝ ආචාර්ය සමාන කෙනෙක් හෝ උපාධ්‍යායන් වහන්සේ හෝ උපාධ්‍යාය සමාන කෙනෙක් හෝ වේ නම් ඔහුගේ දාන ප්‍රිය වචනා දි වූ ප්‍රිය මනාප කාරණ ද, ශීලශ්‍රැතාදි වූ ගරු භාවනීය කාරණා ද සලකා “ඒ සත් පුරුෂයාණෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා” යනාදි ක්‍ර‍මයෙන් මෙත් වැඩිය යුතු ය. මෙබන්දන් කෙරෙහි මෙත් වැඩීමෙන් එකාන්තයෙන් අර්පණා ලැබ ගත හැකි ය. මේ යෝගී විසින් එතෙකින් ම සතුටට නො පැමිණැ සීමා සම්භෙදය කරනු කැමැත්තෙන් ඉක්බිති අතිප්‍රිය මිත්‍ර‍යා කෙරෙහි මෙත් වැඩිය යුතු ය. අතිප්‍රිය මිත්‍ර‍යා කෙරෙහි මෙත් වඩා ඉක්බිති මධ්‍යස්ථයා කෙරෙහි මෙත් වැඩිය යුතු ය. මධ්‍යස්ථයා කෙරෙහි මෙත් වඩා ඉක්බිති වෛරී පුද්ගලයා කෙරෙහි මෙත් වැඩිය යුතු ය. මේ එක් එක් කොට්ඨාසයෙහි සිත මෘදු කොටැ කර්මණ්‍ය කොට ඉක්බිති අනතුරු කොට්ඨාශයෙහි මෙත් වැඩිය යුතු බව දත යුතු.)

යැයි දක්වා තිබෙනවා. මෙම මෛත්‍රී  භාවනාවෙන් ගරු සම්භාවනීය අයට පමණක් මෛත්‍රී වැඩීමෙන් උවත් තතිය ධ්‍යානය දක්වා ධ්‍යාන උපදවා ගන්න පුලුවන්. 

ප්‍රශ්ණය : ධ්‍යාන වැඩීම සහ එය දියුණු කරගත යුතු ආකාරයත් අපට මෙතැනදි පැහැදිලි කරදෙන සේක්වා කියල අපි ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : ධ්‍යාන කියන වචනය “සයං වා තං ඣායති උපනිජ්‌ඣායතීති ඣානං” (තෙමේ ඒ අරමුණ සමීපව බලන්නේනුයි ධ්‍යාන නම් වේ) කියල දක්වලා තියෙනවා. මේ අනුව අරමුණ ඉතා සමීපව හොඳින් දකින අවස්ථාව ධ්‍යාන කියල හඳුන්වනවා. ඒ වගේම නීවරණාදී විරුද්ධ ධර්ම දවන නිසාත් ධ්‍යාන කියල හඳුන්වනවා. මේ ධ්‍යාන අවස්ථාවට පත් උනාම ඒ අවස්ථාවේ ගත් අරමුණ, ඒ කියන්නෙ මේ මෛත්‍රී ධ්‍යානයේදි නම් දැන් අපි කතා කළ විදියට අපි අරමුණු කළ ගරු සම්භාවනීය කෙනා කියන අරමුණ, ඉතා ප්‍රකටව සමීපව ශාන්තව හිතට වැටහෙනවා. මේ අවස්ථාවෙදි ධ්‍යාන අංග කියල හඳුන්වන විතර්ක (අරමුණට නංවන ස්වභාවය), විචාර (අරමුණේ හැසිරෙන ස්වභාවය), ප්‍රීති (අරමුණේ පිනවන ස්වභාවය), සුඛ (අරමුණේ සුවවිඳින ස්වභාවය), ඒකාග්‍රතා (අරමුණේ එකඟවන බව) කියන ධර්ම 5ක් ප්‍රකටව ඇති වෙනවා. මේවා පැහැදිලිව හඳුනාගන්නා විදිය පල පුරුදු ස්වාමින් වහන්සේ නමක් සමග සාකච්ඡා කරල දැනගන්න ඕන. මේ විදියට ධ්‍යාන අංගයන්ගෙන් යුතුව ප්‍රථම ධ්‍යානය පහළ උනායින් පසුව ඒ ධ්‍යානය ක්‍රම 5කින් ප්‍රගුණ කරන්න ඕන. ඒවට අපි කියනවා පංච වශීභාවයන් කියල.

ප්‍රශ්ණය : ඒ පිලිබඳවත් කෙටියෙන් හෝ කරුණු ටිකක් දක්වන සේක්වා කියල අපි ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා.

පිළිතුර : ඇත්තටම මේ වගේ තත්වයකට පත් වූ යෝගියා අනිවාර්යයෙන්ම පළපුරුදු ගුරුවරයෙක්ගෙන් උපදෙස් ගන්න ඕන. නැත්නම් ඇතැම් විට නොමග යාම් වෙන්න පුලුවන්. මේ අවස්ථාවෙදි පහත ක්‍රම 5 අනුව ධ්‍යානය ප්‍රගුණ කරගන්න ඕන.

  1. ආවජ්ජන වශිය – ධ්‍යානයට සමවැදීමෙන් පසුව ධ්‍යානාංග රිසි සේ සලකා බැලීමට මනෝද්වාරාවජ්ජන සිතට ඇති හැකියාව. 
  2. සමාපජ්ජන වශිය – තමා කැමති පරිදි කැමති අවස්ථාවක ධ්‍යානයට සමවැදීමේ හැකියාව.
  3. අධිට්ඨාන වශිය – තමා කැමති කාලයක් නියම කොට අදිටන් කොට සමවැදීමේ හැකියාව.
  4. වුට්ඨාන වශිය – නියම කරගත් කාලය අනුව ධ්‍යානයෙන් නැගී සිටීමේ හැකියාව.
  5. පච්චවෙක්ඛණ වශිය – ධ්‍යානාංග රිසි සේ සලකා බැලීමට ජවන් සිත්වලට ඇති හැකියාව.

මේ විදියට ප්‍රගුණ කරගත් පසුව ප්‍රථම ධ්‍යානයේ ආදීනවත් දුතිය ධ්‍යානයේ ආනිසංසත් සලකමින් ඒ අරමුණේම දුතිය ධ්‍යානාදිය ලබන්න පුලුවන්. ඒ සම්බන්ධව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මේ තාක් අපි රැස් කළ සියලු කුසල් බලයෙන් මේ පිංවත් සියලු දෙනාටමත් සියලු ලෝක සත්වයන්ටත් මේ නිර්මල බුද්ධ සාසනයෙන් ප්‍රයෝජන ලබාගෙන ඉක්මනින්ම සසර දුකින් නිදහස් වීමට හැම පහසු වහරණයක්ම සැලසේවා කියල අපි මෛත්‍රියෙන් ආශිර්වාද ප්‍රාර්ථනා පවත්වනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.