Categories
Articles - Sinhala

පාළි උච්චාරණය පිරිතට බලපාන අයුරු

පාළි උච්චාරණය පිරිතට බලපාන අයුරු

ප්‍රශ්ණය: නිවැරදිව උච්චාරණය නොකළොත් පිරිතකින් ප්‍රයෝජන ලැබෙන්නෙ නැද්ද?

පිළිතුර: පිරිතකින් ප්‍රතිඵල ලැබෙන විදිය පැහැදිළි කළාම මේකට පිළිතුර ලැබේවි. බුද්ධ දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් ප්‍රතිඵල ලැබීම ක්‍රම කීපයකින් සිදු වෙනව.

01 ශ්‍රවණය කරන්නාගේ සිතේ ඇතිවන කුසලය නිසා ඇතැම් අකුසල් විපාකවලට අවස්ථාව නො ලැබී යාම හා සමහර කුසල් විපාක ඉදිරිපත් වීම. කුසල් සිත් නිසා පහළවන චිත්තජ රූප යහපත් බැවින් රුධිරය පැහැදී, හෘදයවස්තුව පැහැදීම සිදු වේ. එය ද රෝග දුරුවීමට හේතු වේ. මේ සම්බන්ධව සංයුක්ත නිකාය පඨමගිලාන සූත්‍රයේ අටුවාවේ පැහැදිලිව දක්වා ඇත. (https://tipitaka.app/?a=he1-54-si)

02 දේශකයින් වහන්සේගේ කරුණා මෛත්‍රී පූර්වාංගම කුසල් සිත් පරම්පරාව සහ එම යහපත් සිතින් කරන ආශිර්වාදය ද රෝගය දුරු වීමට හේතු වේ. අංගුලිමාල මහරහතන් වහන්සේ ගැබිණි කාන්තාවකට ආශිර්වාද කිරීමෙන් ඇය සුවපත්වීම සම්බන්ධ සිදුවීම මීට උදාහරණයකි. (https://tipitaka.app/?a=bb3-218-si)

03 මේ දේශනාවට සිත් පහදවා ගන්නා දෙවි දේවතා පිරිසගේ ආශිර්වාදය ලැබීම ද තවත් කරුණකි. මේ සම්බන්ධව මහාධම්‌මසමාදාන සූත්‍ර අටුවාවේ අග ඇති කතා පුවතින් දැනගත හැකිය. (https://tipitaka.app/?a=ga5-159-si) නිවැරදි උච්චාරණය ද දෙවියන්ගේ ප්‍රසාදය ඇතිවීමට හේතු වන බව මේ සිදුවීමෙන් පැහැදිළි වේ.

04 මීට අමතරව මේ දේශනා සර්වඥයින් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත බැවිනුත් බොහෝ රහතන් වහන්සේලා විසින් සජ්ඣායනා කර ඇති බැවිනුත් සාමාන්‍ය වචනයන්ට වඩා විශේෂ ශක්තියක් ගැබ් වී තිබිය යුතුය. මන්ත්‍ර ආදිය නිවැරදි අක්ෂර යෙදීමෙන් බලවත්වන්නේ නම් ඉතාම නිවැරදි පද භාවිතයක් ඇති බුද්ධ දේශනාවේ විශේෂ ශක්තියක් තිබෙන බව කීමට අවශ්‍ය නැත. නමුත් මේ පිළිබඳව සඳහනක් පෙළ අටුවාවන්හි මෙතෙක් හමු වූයේ නැත.

 

 මෙම කරුණු අතරින් මුල් කරුණු දෙක ප්‍රධාන වන අතර පෙළ අටුවාවන්හි පැහැදිලි සාධක ඇත. එබැවින් ඒ සඳහා මුල් තැන ලබාදීම වටී. උච්චාරණයේ සුළු අඩුපාඩු තිබුණත් දේශක – ශ්‍රාවක දෙපක්ෂයේ කුසල් සිත නිසා ඇතිවන යහපතට බාධාවක් විය නොහැක. එබැවින් “උච්චාරණය වැරදි නම් පිරිතෙන් ප්‍රතිඵල නො ලැබේ” යැයි නොකිව යුතුය. “උපරිම උත්සාහයෙන් නිවැරදිව උච්චාරණය කිරීමට උත්සුක විය යුතුය. ඊට වඩා උත්සාහයක් කුසල් සිත පැවැත්වීමට යෙදිය යුතුය” යනු අපේ අදහසයි.