Categories
Articles - Sinhala

වේදල්ල (හත්වන කොටස)

බුද්ධානුස්සති භාවනාව - ලෝකවිදූ ගුණය

ප්‍රශ්ණය : බුද්ධානුස්සති භාවනාවට අදාලව මුල් ගුණ හතර ගැන අපි කලින් දැනගත්තා. අද අපට ලෝකවිදූ ගුණය ගැන කරුණු පැහැදිලි කරන සේක්වා කියල අපි ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමින් වහන්ස!

පිළිතුර : තෙරුවන් සරණයි! අපේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දැක්වෙන බුදුගුණ පාඨයේ පස්වැනි ගුණය “ලෝකවිදූ” බුදුගුණයයි. මේ ගුණයේ තේරුම “සබ්‌බථා විදිතලොකත්‌තා පන ලොකවිදූ” (සර්වප්‍රකාරයෙන්ම ලෝකය දැනවදාළ බැවින් ලෝකවිදූ නම් වන සේක) කියන එකයි. මෙතනදි කියැවෙන මේ “ලෝකය දැනගැනීම” කියන කාරණය ඉතාම ගැඹුරු අර්ථයක් සහිත කාරණයක්. ලෝකය කීවම අපට වැටහෙන්නෙ මේ පෘථුවිය ගැනයි. ඒත් මේ “ලෝකවිදූ” ගුණය යටතෙ කියැවෙන “ලෝකය” කියන පදය ඊට වඩා බොහොම පුළුල් අර්ථයක් සහිත වචනයක්.

 

ප්‍රශ්ණය : මේ පදයේ තේරුම තව දුරටත් ටිකක් පැහැදිළි කර දෙන සේක්වා කියල අපි ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : මේ පදයේ අර්ථත් පැහැදිළි වෙන විදියට, හිතට දැනෙන විදියට පහත පරිදි පාළියෙන් මනසිකාර කරන්න පුළුවන්.

  1. සෝ භගවා සබ්බථා ලෝකං අවේදි ඉතිපි ලෝකවිදූ.
  2. සෝ භගවා සභාවතො ලෝකං අවේදි ඉතිපි ලෝකවිදූ.
  3. සෝ භගවා සමුදයතෝ ලෝකං අවේදි ඉතිපි ලෝකවිදූ.
  4. සෝ භගවා නිරෝධතෝ ලෝකං අවේදි ඉතිපි ලෝකවිදූ.
  5. සෝ භගවා නිරෝධූපායතෝ ලෝකං අවේදි ඉතිපි ලෝකවිදූ.
  6. සෝ භගවා සඞ්ඛාරලෝකං අවේදි ඉතිපි ලෝකවිදූ.
  7. සෝ භගවා සත්තලෝකං අවේදි ඉතිපි ලෝකවිදූ.
  8. සෝ භගවා ඕකාසලෝකං අවේදි ඉතිපි ලෝකවිදූ.

මේ පාළි වචන නොතේරෙන කෙනාට කලින්  භාවනා පද වගේම මේ පදයත් සිංහලෙන් මනසිකාර කරන්න පුළුවන්. වෙනත් කටයුතු කරන වෙලාවටත් මේ බුදුගුණ පාඨ සජ්ඣායනා කරමින් ඒ කටයුතු කරනව නම් අකුසල් ඇතිවෙන්න තියෙන ඉඩත් අඩු වෙනව. හොඳ කුසලයකුත් සිද්ධ වෙනව. ඒ නිසා එහෙම සජ්ඣායනා කරන්න පුරුදු කරගන්න එක වඩා හොඳයි.

  1. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ ස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් ද, ලෝකවිදූ නම් වන සේක.
  2. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ ස්කන්ධ ලෝකයේ දුක් ස්වභාවය   අවබෝධ කළ බැවින් ද, ලෝකවිදූ නම් වන සේක.
  3. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ ස්කන්ධ ලෝකයේ සමුදය අවබෝධ කළ බැවින් ද, ලෝකවිදූ නම් වන සේක.
  4. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ ස්කන්ධ ලෝකයේ නිරෝධය අවබෝධ කළ බැවින් ද, ලෝකවිදූ නම් වන සේක.
  5. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ ස්කන්ධ ලෝකයේ නිරෝධ උපාය අවබෝධ කළ බැවින් ද, ලෝකවිදූ නම් වන සේක.
  6. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ සංස්කාර ලෝකය   අවබෝධ කළ බැවින් ද, ලෝකවිදූ නම් වන සේක.
  7. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ සත්ව ලෝකය   අවබෝධ කළ බැවින් ද, ලෝකවිදූ නම් වන සේක.
  8. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ අවකාශ ලෝකය   අවබෝධ කළ බැවින් ද, ලෝකවිදූ නම් වන සේක.

මේ විදියට ඉහත පාලි පාඨවල අර්ථ සිංහලෙන් හුරු කරගන්න පුළුවන්.

 

ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! මෙතන කියැවෙන “ස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින්, ස්කන්ධ ලෝකයේ දුක් ස්වභාවය අවබෝධ කළ බැවින්” යනාදී පද අපට තව ටිකක් පැහැදිළි කරදෙන සේක්වා!

පිළිතුර : 01 මෙතන කියැවෙන “ස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින්” කියන පාඨයෙන් අදහස් කරන්නෙ ඉතිරියක් නැතිව ස්කන්ධ දුක්ඛය ආදී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ බවයි. මේ කාරණාව තවත් පැහැදිළි කරන්න ඊලඟ පද හතර දක්වනවා.

02 “සභාවතො ලෝකං අවේදි (ස්කන්ධ ලෝකයේ දුක් ස්වභාවය අවබෝධ කළ ‍සේක)” කියන මෙතන “ලෝක” කියන පාලි පදයෙන් කියැවෙන්නේ “ස්කන්ධ ලෝකය” කියන එකයි. “සභාවතො” කියන්නෙ “දුක් ස්වභාව වශයෙන්” කියන එකයි. කෙටියෙන්ම කියනව නම් “සියළුම ස්කන්ධයෝ දුක් ස්වභාවයෙන් යුක්තයි” කියල දුක්ඛාර්ය සත්‍යය අවබෝධ කළා කියන එකයි. මේ කරුණ “තත්‌ථ සභාවතොති දුක්‌ඛසභාවතො. සබ්‌බො හි ලොකො දුක්‌ඛසභාවො. යථාහ ‘‘සංඛිත්‌තෙන පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා දුක්‌ඛා’’ති” (මේ පාඨයේ “සභාවතො” යනු දුක්ස්වභාව වශයෙනි. සියලුම ලෝකය දුක් ස්වභාව ඇත්තේය. ඒ බව “සංක්‍ෂේපයෙන් පංච උපාදානස්කන්ධයෝ දුක්ඛයෝය” යැයි වදාළ සේක.) යනුවෙන් සාරත්ථදීපනී ටීකා ආදී දහම් ග්‍රන්ථවල දක්වල තියෙනව.

03 “සමුදයතෝ ලෝකං අවේදි” කියන තැන “සමුදයතෝ” කියන්නෙ මේ ස්කන්ධ දුක්ඛය හටගැනීමේ හේතු වශයෙන් කියන එකයි. කෙටියෙන්ම කියනව නම් “මේ ස්කන්ධ දුක්ඛයේ හේතුව තෘෂ්ණාවයි” කියල ලෝක සමුදය එහෙම නැත්නම් ස්කන්ධලෝකයේ හේතු දැනගත් සේක කියන තේරුමයි. ඒ බව “සමුදයතොති යතො සමුදෙති, තතො තණ්‌හාදිතො” (සමුදය වශයෙන් යනු යමකින් ඒ දුක හටගන්වයි ද උපදවයි ද, ඒ තෘෂ්ණාදී හේතු වශයෙන්) කියල එම දහම් ග්‍රන්ථවල දැක්වෙනව.

04 “නිරෝධතෝ ලෝකං අවේදි” කියන තැන “නිරෝධතෝ” කියන්නෙ මේ ස්කන්ධ දුක්ඛය නිරුද්ධවීම් වශයෙන් කියන එකයි. කෙටියෙන්ම කියනව නම් “නිවනට පත් උනාම මේ ස්කන්ධ දුක්ඛය නිරුද්ධ වෙනවා” කියල ස්කන්ධලෝකයේ නිරුද්ධ වීම එ් කියන්නෙ නිර්වාණය දැනගත් සේක කියන තේරුමයි. ඒ බව “නිරොධතොති යත්‌ථ සො නිරුජ්‌ඣති, තතො විසඞ්‌ඛාරතො” (නිරෝධ වශයෙන් යනු යම් තත්වයකට පත්ව ඒ ස්කන්ධ දුක්ඛය නිරුද්ධ වේද, අවසන් වේ ද, ඒ විසංඛාර කියල හඳුන්වන නිර්වාණය වශයෙන්) කියල දහම් ග්‍රන්ථවල දැක්වෙනව.

05 “නිරෝධූපායතෝ ලෝකං අවේදි” කියන තැන “නිරෝධූපායතෝ” කියන්නෙ මේ ස්කන්ධ දුක්ඛය නිරුද්ධවීමේ උපාය වශයෙන් කියන එකයි. කෙටියෙන්ම කියනව නම් “ලෝක නිරෝධයට එහෙම නැත්නම් නිවනට පත් පත්වීම සඳහා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදිය යුතුයි” කියල මාර්ග සත්‍යය දැනගත් සේක කියන තේරුමයි. ඒ බව “නිරොධූපායතොති යෙන විධිනා සො නිරොධො පත්‌තබ්‌බො, තතො අරියමග්‌ගතො ….” (නිරෝධ උපාය වශයෙන් යනු යම් විදියකින් ඒ නි‍රෝධයට පත්විය යුතු ද, ඒ ආර්ය මාර්ගය වශයෙන්) කියල දැක්වෙනව.

          ඉහත කරුණු හතරින් භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ නිසා “ලෝකවිදූ” නම් වන සේක කියන අර්ථයයි ලැබෙන්නෙ. මේ ස්කන්ධ ලෝකයට අමතරව සෙසු සියලු ලෝකත් දැනගත් බව දක්වන්න මී ලඟ පාඨයන් දක්වල තියෙනවා. ඒ අතුරින්;

06 “සඞ්ඛාරලෝකං අවේදි” කියන තැන “සඞ්ඛාරලෝක” කියන්නෙ පණ ඇති පණ නැති සියලු උපාදානස්කන්ධයෝයි. ඒව ප්‍රත්‍යයෙන් හටගන්නා නිසාත් ක්ෂණිකව බිඳෙන නිසාත් නොයෙක් ආකාරයෙන් බිඳෙන නිසාත් “සඞ්ඛාරලෝක” කියල හඳුන්වනව. පටිසම්භිදාමග්ග පාළියේ “එකො ලොකො – සබ්‌බෙ සත්‌තා ආහාරට්‌ඨිතිකා. ද්‌වෙ ලොකා – නාමඤ්‌ච රූපඤ්‌ච ….” (එක් ලෝකයකි: සියලු සත්වයෝ ආහාරයෙන් සිටුනාහුය, ලෝක දෙකකි: නාමයත් රූපයත් යනුවෙනි …) යනාදී විදියට “ත්‍රිවිධ වේදනා, ආහාර වර්ග හතර, උපාදානස්කන්ධ පහ, ආධ්‍යාත්මික ආයතන හය, සත්ත විඥාණස්තිථි, අෂ්ට ලෝක ධර්ම, නව සත්තාවාස, දස ආයතන, දොළොස් ආයතන, ධාතු අටළොස (18)” යනාදී කරුණු මේ සංස්කාර ලෝකයට ඇතුලත් කරල දේශනා කරල තියෙනවා.

07 “සත්තලෝකං අවේදි” කියන තැන “සත්තලෝක” කියන්නෙ “ආසය අනුසය චරිත අධිමුත්ති ආදී වශයෙන් සත්වයින්” කියන එකයි. මේ පාඨයේ කෙටි තේරුම භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සත්වයින්ව, “මේ කෙනා මේ මේ දෘෂ්ටි සහිත කෙනෙක් – මේ මේ අනුසය ඒ කියන්නෙ යටපත් කෙලෙස් වලින් යුක්ත කෙනෙක්, රාග චරිත ආදිය අතුරින් මේ චරිතයෙන් යුක්ත කෙනෙක්, උසස් හා පහත් අදහස් අතරින් උසස් අදහස් ඇති කෙනෙක්” යනාදී විදියට සියලු සත්වයින්ව දැන ගැනීමට සමත් ඤාණයකින් යුක්ත වන සේක කියන එකයි.

08 “ඕකාසලෝකං අවේදි” කියන තැන “ඕකාසලෝක” කියන්නෙ ඉහත දැක්වූ සත්වයන්ගේ වාසස්ථානය කියන එකයි. ඒ කියන්නෙ “මේ සක්වල මෙපමණ දිගුයි, මෙපමණ පළලයි, මෙපමණ උසයි,” ආදී තොරතුරුත් සතර අපාය – මනුස්ස ලෝකය ආදී 31 තලයම ඇතුලත්  එවැනි අනන්ත අපරිමාණ සක්වල ගැන තොරතුරුත් ඉතිරියක් නැතිව දැනගත් නිසා ලෝකවිදූ නම් වන සේක කියන එකයි.

මේ අනන්ත ගුණයන්ගෙන් යුක්ත වූ ලෝකවිදූ වූ අපේ භාග්‍යවතුන් වහන්සේට අපේ නමස්කාරය වේවා කියල අපි වන්දනා කරමු.

මේ කරුණු දැනගෙන කලින් වගේම මේ ගුණයත් භාවනා වශයෙන් පුහුණු කරගෙන ඒ උපකාරයෙන් ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්න හැමදෙනාටම පහසු විහරණ සැලසේවා කියල අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා.