Categories
Articles - Sinhala

වේදල්ල (අටවන කොටස)

බුද්ධානුස්සති භාවනාව - අනුත්තරෝ පුරිසදම්මසාරථි ගුණය

ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! අද අපට භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තරෝ පුරිසදම්මසාරථී ගුණය භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරන විදිය ගැණ කරුණු ටිකක් පැහැදිළි කරදෙන සේක්වා කියල ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර :  හොඳයි තෙරුවන් සරණයි! අපේ භාග්‍යවතුන් වහන්සේ සීල-සමාධි-ප්‍රඥාදී අනන්ත ගුණ සමූහයෙන් තමන් වහන්සේට වඩා උතුම් කෙනෙක් නොමැති නිසාත්, අදන්තයන් සුදන්ත බවට පත් කිරීමේ ශ්‍රේෂ්ඨ අචාර්ය වරයාණන් වහන්සේ වන නිසාත් අනුත්තර පුරිසදම්මසාරථී කියල හඳුන්වනව. මේ ගුණය ගැන අංගුත්තර නිකායෙ පඨමඋරුවෙලසූත්‍රය, කෙසිසූත්‍රය, අග්‌ගපසාද සූත්‍රාදියත්, මජ්ඣිම නිකායෙ සළායතනවිභඞ්‌ග සූත්‍රාදියත් කියැවීමෙන් දැනගන්න පුළුවන්. ඒ සියලු කරුණු කැටි කරල විශුද්ධිමාර්ගය ආදී ග්‍රන්ථවල දක්වල තියෙනවා.

 

ප්‍රශ්ණය : පෙරගුණයන් වගේ මේ ගුණය අර්ථවශයෙන් මෙනෙහි කරන විදියත් පෙන්වාදෙන සේක්වා කියල අපි ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර :  මේ ගුණය පහත විදියට පාලියෙන් මෙනෙහි කරන්න පුළුවන්.

  1. සෝ භගවා සීලක්ඛන්ධේන අනුත්තරෝ ඉතිපි අනුත්තරෝ පුරිසදම්මසාරථි
  2. ”        සමාධික්ඛන්ධේන අනුත්තරෝ      ”       
  3. ”        පඤ්ඤාක්ඛන්ධේන අනුත්තරෝ   
  4.          ”        ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණේන අනුත්තරෝ
  5.          ”        ආසයානුසයේ ඤාණේන අනුත්තරෝ     
  6.          ”        යමකපාටිහාරියේ ඤාණේන අනුත්තරෝ
  7.          ”        මහාකරුණාසමාපත්තියා ඤාණේන අනුත්තරෝ         
  8.          ”        සබ්බඤ්ඤුතඤාණේන අනුත්තරෝ        
  9.          ”        අනාවරණඤාණේන අනුත්තරෝ
  10. ”        විමුක්තික්ඛන්ධේන අනුත්තරෝ   
  11.        විමුක්ති-ඤාණදස්සනක්ඛන්ධේන අනුත්තරෝ   
  12. ”        රූපකාය-සම්පත්තියා අනුත්තරෝ
  13. ”        සතිපට්ඨානේන අනුත්තරෝ                 
  14. ”        සම්මප්පධානේන අනුත්තරෝ      
  15. ”        ඉද්ධිපාදේන අනුත්තරෝ  
  16. ”        ඉන්ද්‍රියේන අනුත්තරෝ     
  17. ”        බලේන අනුත්තරෝ         
  18. ”        බොජ්ඣඩ්ගේන අනුත්තරෝ       
  19. ”        මග්ගඞ්ගේන අනුත්තරෝ  
  20. ”        බුද්ධත්තේ වේසාරජ්ජේන අනුත්තරෝ   
  21. ”        ආසවක්ඛයේ වේසාරජ්ජේන අනුත්තරෝ
  22. ”        අන්තරායිකේ වේසාරජ්ජේන අනුත්තරෝ         
  23. ”        නීය්‍යානිකේ වේසාරජ්ජේන අනුත්තරෝ
  24. සෝ භගවා අනුත්තරේන විධිනා පුරිසදම්මේ සාරෙතා ඉතිපි අනුත්තරෝ පුරිසදම්මසාරථි

මේ ටික සිංහලෙන් මෙනෙහි කරනව නම් පහත විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. අර්ථ සියල්ලම මතකයේ නැතත් ඒ ගුණය ගැන අවබෝධයක් ලැබෙන තරමට කරුණු ගැන දැනුවත් නම් ඒ ඇති. වැඩිපුර කරුණු දන්නා තරමට ශ්‍රද්ධාව ඇති කරගන්න පහසුයි.

  1. ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස! ඔබ වහන්සේ සීලස්කන්ධයෙන් උත්තරීතර බැවින්ද, අනුත්තර පුරිසදම්මසාරථි නම් වන සේක.
  2. ”        සමාධිස්කන්ධයෙන් උත්තරීතර බැවින්ද,           ”
  3. ”        ප්‍රඥාස්කන්ධයෙන් උත්තරීතර බැවින්ද,             ”
  4.          ”        ඉන්ද්‍රිය-පරෝපරියත්තේ ඤාණයෙන් උත්තරීතර බැවින්ද,       ”
  5.          ”        ආසයානුසයේ ඤාණයෙන් උත්තරීතර බැවින්ද,           ”
  6.          ”        යමක-ප්‍රාතිහාර්ය ඤාණයෙන් උත්තරීතර බැවින්ද,                
  7.          ”        මහාකරුණා සමාපත්ති ඤණයෙන්  උත්තරීතර බැවින්ද,         ”
  8.          ”        සර්වඥතා ඤාණයෙන් උත්තරීතර බැවින්ද,                           ”
  9.          ”        අනාවරණ ඤාණයෙන් උත්තරීතර බැවින්ද,                          ”
  10.          ”        විමුක්තිස්කන්ධයෙන් උත්තරීතර බැවින්ද,                            ”
  11.          ”        විමුක්ති ඤාණදර්ශනස්කන්ධයෙන් උත්තරීතර බැවින්ද,          ”
  12.          ”        රූපාකාය සම්පත්තියෙන් උත්තරීතර බැවින්ද,              ”
  13.          ”        සතර සතිපට්ඨානයෙන් උත්තරීතර බැවින්ද,                         ”
  14.          ”        සතර සම්‍යක් ප්‍රධානයෙන් උත්තරීතර බැවින්ද,            ”
  15.          ”        සතර ඍද්ධිපාදයෙන් උත්තරීතර බැවින්ද,                             ”
  16.          ”        පඤ්ච ඉන්ද්‍රිය ධර්මයෙන් උත්තරීතර බැවින්ද,              ”
  17.          ”        පංචබල ධර්මයෙන් උත්තරීතර බැවින්ද,                      ”
  18.          ”        සප්ත බොජ්ඣංගයෙන් උත්තරීතර බැවින්ද,                          ”
  19.          ”        ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උත්තරීතර බැවින්ද,                  ”
  20.          ”        බුද්ධත්වයෙහි විශාරද නුවනින් උත්තරීතර බැවින්ද,                ”
  21.          ”        ආශ්‍රවක්ෂයෙහි විශාරද නුවණින් උත්තරීතර බැවින්ද,              ”
  22.          ”        අන්තරායිකයෙහි විශාරද නුවණින් උත්තරීතර බැවින්ද,          ”
  23.          ”        නෛර්‍ය්‍යානිකයෙහි විශාරද නුවණින් උත්තරීතර බැවින්ද,        ”
  24. ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස,! ඔබ වහන්සේ දමනය කටයුතු වූ, දිව්‍ය මනුෂ්‍ය, බ්‍රහ්ම, නාග, සුපර්ණ, යක්ෂ, රාක්ෂස, සිද්ධ විද්‍යාධර, තිරශ්චීනාදී සත්වයන්, උත්තරීතර විධියෙන් දමනය කළ බැවින් ද, අනුත්තර පුරිසදම්මසාරථි නම් වන සේක.

 මේ විදියට අර්ථ සිහි කරන්න පුළුවන්.

 

ප්‍රශ්ණය : මේ පදවලත් අර්ථය තවත් ටිකක් පැහැදිළි කරදෙන සේක්වා කියල අපි ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : ඒ පදවල තේරුම මේ විදියයි.

1 චාරිත්‍ර – වාරිත්‍ර, ලෞකික ලෝකොත්තර වශයෙන් බෙදී ඇති ශීල රාශිය සීලස්ඛන්ධ කියල හඳුන්වනව. මේ සීලය ක්‍රම ගණනකින් බෙදල දක්වන්න පුළුවන්.

මේ අතරින් නවදහස් එකසිය අසූකෝටි පණස්ලක්ෂ තිස්හය දහසක් පමණ වූද, ශික්ෂාපද ශීලය ප්‍රාතිමොක්ෂ සංවරය සීලය කියල හඳුන්වනව. ඇස ආදී ෂඩ් ඉන්ද්‍රියන් සිහියෙන් යුතුව සංවර කරගැනීම ඉන්ද්‍රිය සංවර සීලය කියලත්, මිථ්‍යාජීවයෙන් තොරව දැහැමින් ලද සිවුපසය පිළිගැනීම ආජීව පාරිසුද්ධි සීලය කියලත්, දැහැමි සිවුපසය ද, නුවණින් ප්‍රත්‍යවේක්ෂා කොට පරිභෝග කිරීම ප්‍රත්‍ය සන්නිශ්‍රීත සීලය කියලත් හඳුන්වනව.

2 උපචාර සමාධි – අපර්ණා සමාධි – ලෞකික සමාධි – ලෝකෝත්තර සමාධි ආදි සමාධි රාශිය සමාධිස්කන්ධ කියල හඳුන්වනව. මේ සමාධියත් ක්‍රම ගණනාවකට බෙදල දක්වන්න පුළුවන්.

ඒ අතරින් නීවරණ මැඩලන, ධ්‍යාන සමාධියට ආසන්න සමාධිය, කාමාවචර උපචාර සමාධිය යි, රූපාවචර ධ්‍යාන රූපාවචර සමාධියයි, අරූප සමාපත්ති සතර, අරූපවචර සමාධියයි, මාර්ගඵල සිත්වල යෙදෙන  සමාධිය (ඒකාග්‍රතා චෛතසිකය) ලෝකෝත්තර සමාධිය යි.

3 සුතමය ඤාණ – චින්තාමය ඤාණ – භාවනාමය ඤාණා දී, අප්‍රමණ ප්‍රඥාරාශිය ප්‍රඥාස්කන්ධයයි, ඊලඟ පද හයෙන් භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ ඤාණ හයක් විස්තර වෙනව. තවත් අනන්ත ඤාණ සම්භාරයක් මේ පදයෙන් අදහස් උනත් මේ ඤාණ හය පිහිටන්නෙ සම්මා සම්බුදු රජානන් වහන්සේ නමකටම පමණක් නිසා මේ හය විශේෂයි. ඒ නිසාම මේ හය ෂඩ් අසාධාරණ ඤාණ කියලත් හඳුන්වනවා.

4-9  ඒ ඒ සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් පස් දෙනාගේ භාවිත ප්‍රමාණය මනාව දැන ගැනීමේ ඥානය ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤණයයි. සත්වයන්ගේ ආසය (චිත්ත සන්තානයේ භාවිත දිට්ඨි ආදිය) – අනුසය (සන්තානයේ යටපත් කෙලෙස් ආදිය) – චරිත (රාගචරිත ආදිය අතුරින් කුමකට අයිතිද යන බව) – අධිමුක්ති (උසස් අදහස් – පහත් අදහස් ආදිය අතුරින් කුමන අදහස් වලින් යුතුද), ආදිය දන්නා නුවණ ආසයානුසය ඤාණයයි. යමාමහ පෙළහැර පෑමේ නුවණ, යමකප්‍රාතිහාර්ය ඤාණයයි.  දිනපතා සූවිසි කෝටි ලක්ෂ වාරය බැගින් සමවදිනු ලබන කරුණා බ්‍රහ්ම විහාරය පිළිබඳ නුවණ මහාකරුණා සමාපත්ති ඤණයයි. සංඛත – අසංඛත සියලු ධර්මයන් සර්වප්‍රකාරයෙන් දන්නා වු ප්‍රඥාව සර්වඥතා ඤාණයයි. ආවරණයක් නොමැතිව සියල්ල විනිවිද දන්නා වු ප්‍රඥාව අනාවරණ ඤාණයයි.

10 තදංග – විෂ්කම්භන – සමුච්ඡේද – පටිප්පස්සද්ධි –  නිස්සරණ යනු පඤ්චවිධ විමුක්තිස්කන්ධය යි. කෙටියෙන්ම කෙලෙසුන්ගෙන් මිදීම මේ නමින් හඳුන්වනවා. විදර්ශනාඤාණ, ධ්‍යාන, මාර්ග, ඵල, නිර්වාණ යන අවස්ථා පහේදී විවිධ මට්ටමින් කෙලෙසුන්ගෙන් මිදෙන නිසා ඒ අවස්ථා පහ ඉහත පරිදි අනුපිලිවෙලින් විමුක්ති පහක් ලෙස දැක්වෙනවා.

11 ලෝකෝත්තර ඵලාධිගමයට අනතුරුවම ලැබෙන ප්‍රත්‍යවේක්ෂා ඥාන 19, විමුක්තිඥණදර්ශනස්කන්ධයයි

12 භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණාදියෙන් විසිතුරු වූ අනුපමෙය්‍ය රූපකාය සම්පත්තියත් විශේෂ ලක්ෂණයක්.

13-19 සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන මෙතැන කියැවෙනවා. ඒ කරුණු බොහෝ දෙනෙක් දන්න නිසා පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. රේරුකානේ මාහිමියන්ගෙ “බෝධිපාක්ෂික ධර්ම විස්තරය” පොතිනුත් වැඩිදුර දැනගන්න පුළුවන්.

20-23 මීලඟ කරුණු හතරින් දැක්වෙන්නෙ භාග්‍යවතුන් වහන්සේගේ විශාරද ඤාණ හතරයි. “තමන් වහන්සේ සියල්ල අවබෝධ කරගත්බව කරුණු සහිතව ප්‍රතික්‍ෂේප කිරීමට, සියලු කෙලෙස් නැසූබව කරුණු සහිතව ප්‍රතික්‍ෂේප කිරීමට, නිවනට අන්තරායකර ධර්ම යැයි දැක්වූ කරුණු වෙනස් කිරීමට, මේ සද්ධර්මය අනුගමනය කරන අයව නිවනට පමුණුවනබව කරුණු සහිතව ප්‍රතික්‍ෂේප කිරීමට” සමත් කිසිවෙකු දෙවියන් මාරයින් බ්‍රහ්මයින් සහිත මේ මුළු විශ්වයේම කොතැනකවත් නැතිබව දකින භාග්‍යවතුන් වහන්සේට ඒ කරුණු පිළිබඳව සොම්නස් සහගත ඤාණයන් හතරක් පහළ වෙනවා. ඒ නිසාම ඒ කරුණු ගැන නිර්භයව සිංහනාද පවත්වනව. මෙසේ නිර්භයව හා සොම්නසින් යුක්තව සිංහනාද පවත්වන නිසා මේ ඤාණ හතර  “විශාරද ඤාණ” කියල හඳුන්වනවා.

24 ඒ ඒ කෙනාව දමනය කළයුතු සුදුසුම ක්‍රමය භාග්‍යවතුන් වහන්සෙ දන්න නිසත් මේ නම යෙදෙනව. ඒ ගැන කරුණු “බකබ්‍රහ්ම, ආලවක, සච්චක, උපාලිගෘහපති, අම්බට්ඨමානවක, නාලාගිරි” ආදී අයව දමනය කළ ආකාරයෙන් දැනගන්න පුළුවන්.

මේ විදියට අනුත්තර පුරිසදම්මසාරථි ගුණයෙන් යුක්ත වූ අපේ භාග්‍යවතුන් වහන්සේට අපේ නමස්කාරය වේවා කියල අපි වන්දනා කරමු.

මේ කරුණු දැනගෙන කලින් වගේම මේ ගුණයත් භාවනා වශයෙන් පුහුණු කරගෙන ඒ උපකාරයෙන් ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්න හැමදෙනාටම පහසු විහරණ සැලසේවා කියල අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා.