Categories
Articles - Sinhala

වේදල්ල (නවවන කොටස)

බුද්ධානුස්සති භාවනාව - සත්ථා දේවමනුස්සානං ගුණය

ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! කලින් අවස්ථාවෙ අපි භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තරෝ පුරිසදම්මසාරථි ගුණය ගැන කතා කළා. ඊලඟ ගුණය ගැනත් අපට කරුණාවෙන් පැහැදිලි කරදෙන සේක්වා.

පිළිතුර :  තෙරුවන් සරණයි! මීලඟට අපට කතා කරන්න තියෙන්නෙ “සත්ථා දේවමනුස්සානං” බුදුගුණය ගැනයි. මේ පදයේ කියැවෙන “සත්ථා” කියන වචනයේ තේරුම “ශාස්තෲන් වහන්සේ” කියන එකයි. ඒ කියන්නේ “සුදුසු පරිදි අනුශාසනා කරන උතුමන් වහන්සේ” කියන එකයි. අපේ භාග්‍යවතුන් වහන්සේත් අපට “මෙලොව දියුණුවන මාර්ගය, පරලොව සුගතියට යන මාර්ගය, නිවන් අවබෝධ කළ හැකි මාර්ගය” කියන සියලු යහපත් දේටම මාර්ගය දක්වන, අනුශාසනා කරන උතුමන් වහන්සේ නිසා මේ නම යෙදෙනවා. මේ කරුණ “දිට්‌ඨධම්‌මිකසම්‌පරායිකපරමත්‌ථෙහි යථාරහං අනුසාසතීති සත්‌ථා” (මෙළොව,පරලොව,නිර්වාන පරමාර්ථයන්ගෙන් අනුශාසනා කරන නිසා “සත්ථා” නම් වන සේක) කියල විශුද්ධිමාර්ගය ආදී දහම් ග්‍රන්ථවල දක්වල තියෙනවා.

          මෙතන “දේවමනුස්සානං” කියන්නෙ “දෙවි-මිනිසුන්ගේ” කියන එකයි. මෙතනදි ලෝකයේ ඉහලම ශ්‍රේෂ්ඨම අය නිසයි දෙවි-මිනිසුන්ගේ කියල යෙදෙන්නෙ. යක්ෂ – නාග – තිරිසන් ආදී සත්වයන්ටත් භාග්‍යවතුන් වහන්සේ උපකාර කරල තියෙනවා. ආලවක යක්ෂයාගෙ නන්දෝපනන්ද නාගරාජයාගෙ මණ්ඩුක දිව්‍යපුත්‍රයාගෙ කතා ආදිය මේකට උදාහරණ විදියට පෙන්වන්න පුළුවන්. බකබ්‍රහ්මයාව දමනය කිරීම, සක් දෙව් රජතුමා මගඵල ලැබීම හා තවත් බොහෝ දේවබ්‍රහ්ම පිරිස් මගඵල ලැබීම ගැන දහමෙ සඳහන් වෙනවනෙ. ලෝකයේ උසස්ම අය කියල සැලකෙන මහාබ්‍රහ්මයා ආදී පිරිසගේ ශාස්තෲන් වහන්සේයි කියල කීවම ඊට වඩා පහළ අය ගැන කියන්නම අවශ්‍ය නෑනෙ. ඉබේම ඒ අයත් මේ යටතට ගැනෙනවා. ඒ නිසයි “දේවමනුස්සානං” පදය යෙදිල තියෙන්නෙ.

 

ප්‍රශ්ණය : මේ ගුණයට අදාලවත් මෙනෙහි කරන්න ඕන විදිය කෙටියෙන් කියාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර :  පහත විදියට අපට පාළියෙන් මෙනෙහි කරන්න පුළුවන්.

  1. සෝ භගවා දිට්ඨධම්මිකේන අත්ථේන යථාරහං අනුසාසති ඉතිපි සත්ථා දේවමනුස්සානං,
  2.          ”        සම්පරායිකේන අත්ථේන යථාරහං අනුසාසති    ”
  3.          ”        නිබ්බාන පරමත්ථේන යථාරහං අනුසාසති                  ”
  4. ”        සත්තේ ජාති-කන්තාරං තාරේති   ”
  5.          ”        සත්තේ ජරා-කන්තාරං තාරේති    ”
  6.          ”        සත්තේ ව්‍යාධි-කන්තාරං තාරේති ”
  7.          ”        සත්තේ මරණ-කන්තාරං තාරේති ”
  8. ”        සත්තේ සංසාර-කන්තාරං තාරේති උත්තාරේති නිත්තාරේති, පාතාරේති, බේමන්ත භූමිං සම්පාපේති      ”
  9.          ”        සත්තේ නේතා       ”
  10. ”        සත්තේ විනේතා     ”
  11. ”        සත්තේ අනුනේතා ”
  12. ”        සත්තේ පඤ්ඤාපේතා       ”
  13. ”        සත්තේ නිජ්ඣාපේතා       ”
  14. ”        සත්තේ පෙක්ඛේතා          ”
  15. ”          සත්තේ පසාදේතා ”
  16. ”        අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා     ”
  17. ”        අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනේතා      ”
  18. ”        අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා ”
  19. ”        මග්ගඤ්ඤු    ”
  20. ”        මග්ගවිදූ       ”
  21. ”        මග්ගකෝවිදෝ      ”
  22. සෝ භගවා මග්ගානුගා ච පනස්ස එතරහි සත්තා විහරන්ති පච්ඡා සමන්නාගතා, ඉතිපි සත්ථා දේවමනුස්සානං,

මේ කරුණු පහත විදියට සිංහලෙන් මෙනෙහි කරන්නත් පුළුවන්.

  1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ මෙලොව හිතවැඩ පිණිස අනුශාසනා කළ බැවින් ද, සත්ථා දේවමනුස්සානං වන සේක.
  2. ”        පරලොව හිතවැඩ පිණිස අනුශාසනා කළ බැවින් ද,      ”
  3. ”        මගඵලනිවන් සුව පිණිස අනුශාසනා කළ බැවින් ද,      ”
  4. ”        ජාති කාන්තාරයෙන් සත්වයන් එතර කළ බැවින් ද,      ”
  5. ”        ජරා කන්තාරයෙන් සත්වයන් එතර කළ බැවින් ද,       ”
  6. ”        ව්‍යාධි කාන්තාරයෙන් සත්වයන් එතර කළ බැවින් ද,    ”
  7. ”        මරණ කාන්තාරයෙන් සත්වයන් එතර කළ බැවින් ද,   ”
  8. ”        සංසාර කාන්තාරයෙන් සත්වයන් එතර කරවා නිර්වාණ ක්ෂේම භූමියට පමුණුවා වදාළ බැවින්ද,         ”
  9. ”        සත්වයන් නිවන් පුර පමුණුවන බැවින්ද, ”
  10. ” සත්වයන් විනයෙහි පිහිටුවන බැවින්ද,    ”
  11. ” විමති සිඳිමින් දහම් දෙසන බැවින්ද         ”
  12. ” අර්ථය වටහා දෙමින් දහම් දෙසන බැවින්ද,       ”
  13. ” අර්ථ තීරණය කරමින් දහම් දෙසන බැවින්ද,      ”
  14. ” ප්‍රතිපත්තියෙහි පිහිටුවමින් දහම් දෙසන බැවින්ද,          ”
  15. ” ප්‍රතිපත්ති ඵලයෙහි රස විහිදුවමින්,  පිළිවෙතෙහි පිහිටියවුන්ව පහදවමින් දහම් දෙසන බැවින්ද        ”
  16. ” තමන්ගේ සිත් සතන්හි පෙර නූපන් නිවන්මග ඉපද වු බැවින්ද,          ”
  17. ” අනුන්ගේ සිත් සතන්හි නූපන් නිවන්මග ඉපද වූ බැවින්ද,        ”
  18. ” බෝධිසත්වයනට විවරණ දෙමින් නිවන් මග පෙන්වූ බැවින්ද, ”
  19. ” තමන් ඉපද වූ නිවන් මග දන්නා බැවින්ද,          ”
  20. ” අනුන්ට උපදින නිවන් මග දන්නා බැවින්ද,       ”
  21. ” බෝධිසත්වයනට උපදින නිවන් මග දන්නා බැවින්ද,    ”
  22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස,! ඔබ වහන්සේ ගමන්ගත් නිවන් මග අන් අයද ගමන් කරවූ බැවින්ද, සත්ථා දේවමනුස්සානං වන සේක.

 

ප්‍රශ්ණය : මේ කියැවුණ වචන නම් බොහොමයක් පැහැදිලියි ස්වාමින් වහන්ස. මෙතන 4-7 වැනි කරුණු වලදි කියැවුණ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන කාන්තාර වලින් එතෙර කරවනවා කියන එක තව ටිකක් පැහැදිලි කරන සේක්වා.

පිළිතුර :  මහානිද්දේසපාළියේ “සත්ථා” පදය විස්තර කරද්දි මේ පැහැදිලි කිරීම දකින්න පුළුවන්. ලෝකයේ ප්‍රකට කාන්තාර වර්ග කීපයක් තියෙනවා, චෝර (සොරු සිටින), වාළ (නපුරු සතුන් සිටින), දුබ්භික්ඛ (ආහාර නැති), නිරුදක (ජලය නැති)  කියල.

ඒ ප්‍රදේශ තරණය කරන්න අපහසුයි. අන්න ඒ වගේ මේ ජාති, ජරා, මරණ ආදී දුක් රැසත් අවසන් කරන්න, තරණය කරන්න අපහසු නිසාත් මහා අනර්ථකාරී නිසාත් ඒවාට කාන්තාර කියල දහමෙ හඳුන්වනවා. මේ කරුණු විතරක් නෙවෙයි “සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස…” ආදී දුක් රාශියත් “රාග, දෝස, මෝහ, මාන, දිට්ඨි” ආදී කෙලෙස් රාශියත් මෙතනදි කාන්තාර කියල හඳුන්වල තියෙනවා. අපි මෙතනදි මතක් කළේ එයින් කීපයයි.

 

ප්‍රශ්ණය : දෙව්මිනිස් බොහෝ දෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ බවට පත් උනා. මේ බව තහවුරු වෙන සිදුවීම් කීපයක් පිරිසට දැනගැනීම සඳහා  ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි.

පිළිතුර : භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මේ දහමේ ගැඹුරු බව සම්මර්ශනය කළ අවස්ථාවෙදි දහම් දේශනා කරන්නට ආරාධනාව කළේ සහම්පතී මහාබ්‍රහ්මයායි. මේ කාලය වෙද්දි ඉන්දියාවේ බොහෝ දෙනෙක් මහාබ්‍රහ්මයාව ඉහලින්ම පිළිගත් පිරිසක්. ඉතිං ඒවගේ කාලයක මහාබ්‍රහ්මයා විසින් ආරාධනා කිරීම මේ දහම බොහෝ දෙනෙක් පිළිගන්නත් හේතුවක් උනා. මේ ආරාධනාව කරන වෙලාවෙ සහම්පතී මහාබ්‍රහ්මයා ගාථා කීපයක් කියනව. ඒ ගාථාවලිනුත් කියැවෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, බුදු උපතක වටිනාකම ආදී කරුණු. මෙවැනි සිදුවීම් වලිනුත් පැහැදිලි වෙනව බුදු රජාණන් වහන්සේගේ දේව බ්‍රහ්මාදී පිරිස් වලට ශාස්තෲන් වහන්සේ නමක් විදියට පිහිට උන ආකාරය.

          සංයුත්ත නිකායේ බ්‍රහ්මදේව සූත්‍රයෙත් ඒ වගේ සිදුවීමක් තියෙනව. මේ බ්‍රහ්මදේව කියන රහතන් වහන්සේගෙ මව නිතර මහාබ්‍රහ්මයාට පූජා පවත්වනව. එක දවසක් මේ ස්වාමින් වහන්සෙ තමන්ගෙ මවගෙ නිවසට පිණ්ඩපාතෙ වැඩම කළා. මේ සිදුවීම දකින සහම්පතී බ්‍රහ්මරාජයා හිතනවා “මෙතුමිය නිතර බ්‍රහ්මයාට පූජා පවත්වනවා, මෙතුමියට නිවැරදි පිළිවෙත කියල දෙන්න ඕන” කියල. ඊට පස්සෙ මේ මහාබ්‍රහ්මයා එතුමියට පේන්න පැමිණිලා මෙහෙම කරුණු කියනවා, “බ්‍රහ්මලෝකය තියෙන්නෙ බොහොම දුර, මේ ආහාර බ්‍රහ්මයා පාවිච්චි කරන්නෙ නෑ.” එහෙම කියල බ්‍රහ්මදේව ස්වාමින් වහන්සේ පැත්තට හැරිල වන්දනා කරගෙන මේ විදියට ස්වාමින් වහන්සේගෙ ගුණ කියනවා “මේ බ්‍රහ්මදේව ස්වාමින් වහන්සේ කෙලෙස් නැති උතුමෙක්, දෙවියන් අතර ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් බවට, බ්‍රහ්මයින් අතර ශ්‍රේෂ්ඨ බ්‍රහ්මරාජයෙක් බවට පත් උන සියලු දෙවිමිනිසුන්ගේ පූජා ලබන්න සුදුසු වූ නිවන්මග දන්නා උතුමෙක්, එතුමන්ට දානය පිළිගන්වා පිං කරගන්න” කියල කියනවා.

          ඉතිං ශ්‍රාවකයින් වහන්සේ නමක් එහෙම නම් බුදුරජාණන් වහන්සේ ගැන කියන්නම අවශ්‍ය නෑනෙ. සක්දෙව් රජතුමා රජගහනුවරදි බුදුගුණ කීමාදී මීට සම්බන්ධ සිදුවීම් රාශියක් දහමෙ තියෙනවා. ඉතිං මෙවැනි අනන්ත ගුණයෙන් යුක්ත වූ දෙවිමිනිසුන්ට ශාස්තෲ වූ අපේ භාග්‍යවතුන් වහන්සේට අපේ ගෞරව නමස්කාරය වේවා කියල වන්දනා කරමු. ඉතිං මේ ගුණයත් පෙර ගුණ වගේම දියුණු කරන්නට හැමදෙනාටම ශක්තිය වාසනාව ලැබේවා කියල අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.

to top