Categories
Articles - Sinhala

වේදල්ල (දාහතර වන කොටස)

මෛත්‍රී භාවනාව 3 කොටස - මෛත්‍රී භාවනාව දුතිය ධ්‍යානය පටන් ඉදිරියට

පසුගිය දිනවල අපි මෛත්‍රී භාවනාව ආරම්භයේ පටන් ප්‍රථම ධ්‍යානය උපදවා ගැනීම දක්වා කටයුතු කළ යුතු ආකාරය ගැන දැන ගත්තා. මෙතැන් පටන් ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය අපට පැහැදිලි කර දෙන සේක්වා කියල අපි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : හොඳයි තෙරුවන් සරණයි. පෙර සාකච්ඡාවෙදි අපි මෛත්‍රී පළමු ධ්‍යානය පංච වශියෙන් ප්‍රගුණ කිරීම දක්වා සාකච්ඡා කළා. එයින් පසුව දෙවන ධ්‍යානයට පත්වීම සඳහා පළමු ධ්‍යානයේ ඇති ආදීනවත් දෙවන ධ්‍යානයේ ඇති ආනිසංසත් මෙනෙහි කරන්න ඕන. මේ විදියට ඒක මෙනෙහි කරන්න පුලුවන්.

  • මේ ප්‍රථම ධ්‍යානය කියන්නෙ නීවරණ බැහැර කරන මුල්ම ධ්‍යානය නිසා මෙය නීවරණ කියන සතුරන්ට ආසන්නයි. දුතිය ධ්‍යානය ඊට වඩා නීවරණ සතුරන්ගෙන් දුරස්ථයි.
  • මෙම ප්‍රථම ධ්‍යානයේ විතර්ක හා විචාර කියන ඕලාරික / සියුම් නොවන අංග දෙකින් යුක්ත නිසා ඉක්මනින් බිඳී යා හැකි බැවින් දුර්වලයි. දුතිය ධ්‍යානයේ මෙම අංග දෙක නැති නිසා ප්‍රථම ධ්‍යානයට වඩා ශක්තිමත්.

මේ විදියට සිහිකිරීමෙන් ප්‍රථම ධ්‍යානයට ඇති නිකන්තිය එහෙම නැත්නම් ඇල්ම දුරු කර ගන්නත් දුතිය ධ්‍යානය පහසුවෙන් ලබා ගන්න පුලුවන් වෙනවා. මෙසේ සිහි කිරීමෙන් පසුව පෙර මෛත්‍රී ප්‍රථම ධ්‍යානය ලබා ගැනීමට පිලිපැද්ද ආකාරයටම ගරු සම්භාවනීය කෙනෙක් අරමුණු කරගෙන පෙර පරිදිම “වෛර නැත්තෙක් වේවා” යනාදී වාක්‍ය වලින් භාවනාව කරන විට අරමුණ හා ඉතා සමීපව හිත පිහිටන අවස්ථාවක් අත්විඳින්න පුලුවන් වෙනවා. මේ අවස්ථාවේදී ධ්‍යාන අංග පරීක්ෂා කිරීමේදී විතර්ක හා විචාර නැතිව ඉතිරි ධ්‍යාන අංග පමණක් ඇත්නම් මේ අවස්ථාව දුතිය ධ්‍යාන අවස්ථාවයි. මෙම තත්වයට පත් වීමට හැකි වුවහොත් මෙම ධ්‍යානයත් ප්‍රථම ධ්‍යානය වගේම පංච වශියෙන් ප්‍රගුණ කරගන්න ඕන. 

එයින් පසුව මේ විදියටම තෙවන ධ්‍යානය ලබන්නත් පුලුවන්. මෙහිදී දුතිය ධ්‍යානයට ඇති නිකන්තිය දුරු කිරීම සඳහාත් තතිය ධ්‍යානය වෙත හිත නැමීම පිණිසත් පහත විදියට සිහි කරන්න ඕන.

  • මේ දුතිය ධ්‍යානය විතර්ක විචාරයන්ට ආසන්නයි. තතිය ධ්‍යානය විතර්ක විචාරයන්ට දුරස්ථ නිසා ප්‍රබලයි.
  • මෙම දුතිය ධ්‍යානයේ ප්‍රීතිය කියන ඕලාරික / සියුම් නොවන ධ්‍යාන අංගයෙන් යුක්ත නිසා ඉක්මනින් බිඳී යා හැකි බැවින් දුර්වලයි. තතිය ධ්‍යානයේ ප්‍රීතිය  නැති නිසා දුතිය ධ්‍යානයට වඩා ශක්තිමත්, බලවත්.

 

මේ විදියට සිහිකර පෙර දුතිය ධ්‍යානය ලැබීමට කටයුතු කළ අයුරින්ම කටයුතු කිරීමෙන් තතිය ධ්‍යානයට පත් වෙන්න පුලුවන්. පෙර ආකාරයෙන්ම ධ්‍යාන අංග පරීක්ෂා කර බැලීමේදී ප්‍රීතිය නොමැති බව දැන ගන්න පුලුවන්. මෙම ධ්‍යාන අංග විමසා බලන ආකාරයත් හොඳ පුහුණුවක් ඇති ගුරුවරයෙකුගෙන්ම ඉගෙන ගන්න ඕන. මේ විදියට තතිය ධ්‍යානය දක්වා පමණයි මෛත්‍රී ධ්‍යානය වඩන්න පුලුවන් වෙන්නෙ. මෛත්‍රී ධ්‍යානය වැඩීම සඳහා භාවිතා කරන “වෛර නැත්තෙක් වෙත්වා” යනාදී වාක්‍යවලින් උපේක්ෂාවක් අපේක්ෂා නොකරන නිසා චතුර්ථ ධ්‍යානය උපදවන්න බැහැ. 

 

මේ විදියට එක් ගරු සම්භාවනීය කෙනෙකුට ධ්‍යාන දක්වා මෛත්‍රිය වැඩූ පසු “තරහ නැත්තෙක් වේවා, දුක් පීඩා නැත්තෙක් වේවා” යනාදී ඉතිරි වාක්‍යවලිනුත් තතිය ධ්‍යානය දක්වා එම පුද්ගලයාටම මෛත්‍රිය වඩා ප්‍රගුණ කර ගන්න. ඉන් පසුව මෙම මෛත්‍රිය තවත් තහවුරු වීම සඳහා මෙම ක්‍රමයටම ගරු සම්භාවනීය අය 10 දෙනෙකුට පමණ පුහුණු කරන්න. 

 

එයින් පසුව එය සාර්ථක වූ විට මේ විදියටම අතිප්‍රිය සහායක ඒ කියන්නෙ ඉතාම හිතවත් 10 දෙනෙකුට පමණ මෛත්‍රී වඩන්න. එයින් පසුව ඒ විදියටම මධ්‍යස්ථ අය 10 දෙනෙකුට පමණ, එයින් පසුව වෛරී අය 10 දෙනෙකුට පමණ තතිය ධ්‍යානය දක්වාම පෙර පරිදි මෛත්‍රී වඩන්න. මේ සියලු දෙනාටම සමානව මෛත්‍රී සිත පිහිටනවා නම් පහත අනුපිලිවෙලට නැවත නැවතත් පුහුණු කරන්න.

 

  1. තමා
  2. ප්‍රිය පුද්ගලයා
  3. මධ්‍යස්ථ පුද්ගලයා
  4. වෛරී පුද්ගලයා.

මේ එකිනෙක අයට වෙනසක් නැතිව මෛත්‍රිය පිහිටනවා නම් “සීමා සම්භේදය” යැයි දක්වන “සීමාවන් බිඳ දැමීම” නම් වූ උසස් තත්වයක් ලැබුවා කියල සලකනවා. මේ විදියට වඩද්දී වෛරී අයට වඩන අවස්ථාවෙදි තරහක් මතු වී මෛත්‍රී සිත දුබල වෙනව නම් ඒ සඳහා පිලිපැදිය යුතු උපදෙස් රාශියක් විශුද්ධි මාර්ගය ආදී ධර්ම ග්‍රන්ථවල දක්වා තිබෙනවා. ඒ ගැන වැඩි විස්තර ඒ තැන්වලින් දැනගන්න පුලුවන්.

ප්‍රශ්ණය : එසේ ඇතිවන තරහව දුරුකර ගන්නා ක්‍රමයත් කෙටියෙන් හෝ දක්වන සේක්වා කියල අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : මෙතනදි විශුද්ධි මාර්ගයේ මේ සම්බන්ධව ඉතාම පැහැදිලිව විස්තර ඇතිව පැහැදිලි කරල තියෙනවා. ඒ කරුණු බොහොම කෙටියෙන් අපි දක්වනවා. විස්තර කැමති පිංවතුන්ට ඒ කරුණු ඒ ධර්ම ග්‍රන්ථවලින් දැනගන්න පුලුවන්.

  1. කකචූපම අවවාදය ආදී බුදු රජාණන් වහන්සේගේ අවවාද සිහි කිරීම. මේ කකචූපම සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ වදාළේ “සොර සතුරන් විසින් යම් කෙනෙකුගේ අතපය කියතකින් කපන අවස්ථාවකදී හෝ ඒ කෙනා අර සොරසතුරන්ට කිපෙනව නම් ඒ කිපෙන කෙනා බුද්ධ අවවාදය පිලිපදින කෙනෙක් නෙවෙයි” කියලයි. ඒ වගේම සංයුත්ත නිකායේ අක්කෝස සූත්‍රය ආදී දේශනාවලදී “කෙනෙක් තමා කෙරෙහි කිපෙන විට තමාත් ඒ කෙනාට කිපෙනව නම් තමා ඒ කෙනාටද වඩා පාපියෙකු බවත්, කෙනෙක් තමාට කිපෙන විට නොකිපී ඉන්න කෙනා දිනන්න අපහසු යුද්ධයක් දිනූ කෙනෙක් බවත්” දක්වා තිබෙනවා. ඒ වගේම අංගුත්තර නිකායේ කෝධන සූත්‍රය ආදියත් සිහිකිරීම වැදගත්. මේ විදියට ඒ අවවාද සිහි කරන්න ඕන.

 

  1. ඒ විදියට තරහව දුරු වෙන්නෙ නැත්නම් “ඒ කෙනාගේ කාය වචී මනෝ කර්ම අතුරින් යමක් හොඳයි නම් එය සිහි කර හිත පහදවා ගන්න. ඒ සියල්ලම නරකයි නම් “අනේ මේ කෙනා මරණයෙන් මතු අපාගත වෙනව නේද” කියල කරුනාව ඇති කර ගන්න” යනුවෙන් දක්වලා තියෙනවා. මේ කරුණ අංගුත්තර නිකායේ ආඝාතපටිවිනය සූත්‍රයේ තවදුරටත් පැහැදිලි කරල තියෙනවා.

 

  1. මේ විදියටත් සාර්ථක වෙන්නෙ නැත්නම් “කිපීමෙන් හානිය වන්නේ තමාටමය. අකුසල් වන්නේ තමාටමය. අනෙක් පුද්ගලයාගේ ඒ අවස්ථාවේ පැවති ස්කන්ධ නිරුද්ධ වී ඇත. ඒවා දැන් නැත. එසේ නම් ඔබ තරහ ගන්නේ කුමකට ද” යනාදී ලෙස සිතිය යුතු අයුරු දක්වා තිබේ.

 

  1. මෙයත් සාර්ථක නොවේ නම් “කම්මස්සකතා පච්චවෙක්ඛනා” එනම් කර්මය ස්වකීය බව, කර්මය අපට උරුම බව සිහි කරන්න ඕන. “ඔබ ඔහුට කිපී කුමක් කරන්න ද? එයින් හානිය වන්නේ ඔබටමය. තරහව නිසා සුගති සම්පත් ආදිය නොලැබේ. ඒ වෙනුවට අපාය දුක් ආදිය ලැබේ. කර්මය කරන්නාටම දායාදය වන්නේය” යනාදී ලෙස තමාගේත් අනෙක් කෙනාගේත් කර්මය තම තමන්ටම අයිතිබව සිතිය යුතුයි.

 

  1. එයත් සාර්ථක නොවේ නම් ශාස්තෘෘන් වහන්සේ පෙර ජීවිතවල මෛත්‍රිය ශාන්තිය ප්‍රගුණ කළ අවස්ථා සිහි කරන්න. සීලවරාජ චරිතය, මහාකපි චරිතය, ඡද්දන්ත හස්ථි චරිතය, සංඛපාල නාගරාජ චරිතය ආදිය සිහි කරන්න පුලුවන්.

 

  1.  එය ද සාර්ථක නොවේ නම් “අතීත සසරේදී මගේ මව නොවූ පියා නොවූ ඤාති නොවූ කෙනෙක් නැත. ඒකාන්තයෙන්ම මේ කෙනාත් මට මව පියා වී බොහෝ උපකාර කර ඇත්තේය” යනාදී ලෙස කෙළවරක් නැති සසර ගැන බුදු රජාණන් වහන්සේ වදාළ “අනමතග්ගිය” දේශනාදිය සිහි කළ යුතුය.

 

  1. එසේ ද තරහ දුරු නොවේ නම් පෙර අප දැක්වූ මෛත්‍රී ආනිසංස සිහිකර, “මම මේ තරහ දුරු නොකළොත් ඒ ආනිසංස මට අහිමි වන්නේය.” යනාදී ලෙස සිහි කරන්න.

 

  1. එසේ ද සාර්ථක නොවේ නම් “ධාතුවිනිබ්භෝගය” එනම් “ඔබ ඔහුගේ කෙස්වලට කිපුනේ ද? ලොම්වලට කිපුනේ ද? යැයි 32 කොටස් ලෙස හෝ පඨවිධාතුවට කිපුනේද යනාදී ලෙස ධාතුවශයෙන් හෝ ආයතන වශයෙන් හෝ සිහි කරන්න.

 

  1. එසේ ද සාර්ථක නොවේ නම් “දානසංවිභාගය” තමා සතු දෙයක් පූජාකිරීම කරන්න.

 

මෙසේ තරහව දුරු කරගෙන සැමට සමානව මෛත්‍රිය පිහිටන සේ භාවනා කිරීමෙන් සීමාසම්භේදය කළ හැකි වෙනවා. මෙයින් පසුව මෛත්‍රිය පතුරුවන ආකාරය අපි පසුව දැනගමු. මේ දක්වා අප රැස්කළ සියලු කුසල් බලයෙන් සියලුම ලෝවැසියන්ගේ සිත් මෛත්‍රියෙන් සැනසේවා, සියලු යහපත උදා වේවා කියල අපි මෛත්‍රියෙන් ආශිර්වාද ප්‍රාර්ථනා පවත්වනවා.