Categories
Articles - Sinhala

වේදල්ල (දසවන කොටස)

බුද්ධානුස්සති භාවනාව - බුද්ධ ගුණය

අපි මෙතෙක් සාකච්ඡා කරගෙන ආ පරිදි  ඊලඟ අටවන බුදු ගුණය වන “බුද්ධ” ගුණය භාවනා කරන විදිය ගැන ගෞරවණීය ස්වාමින් වහන්සේගෙන් අසා දැන ගනිමු. අවසරයි ස්වාමින් වහන්ස!

පිළිතුර : හොඳයි, තෙරුවන් සරණයි! මෙහිදීත් අපි පළමුව මේ ගුණයේ අර්ථය නිවැරදිව හඳුනාගෙන එය හොඳින් හිතට දැනෙන විදියට මෙනෙහි කරන්න ඕන. පෙර අවස්ථාවල වගේම හිත හොඳින් තැන්පත් වන තෙක්ම පුරුදු පුහුණු කරන්න ඕන. දැන් මේ භාවනාව කරන විදිය ගැන යම් අවබෝධයක් පිරිසට තියෙන නිසා අපි ඒ “බුද්ධ” ගුණයේ තේරුම් එකින් එක සලකා බලමු. නිද්දේස පාලි හා පටිසම්භිදාමග්ග කියන දේශනාවන් අනුව මේ පදයේ තේරුම පහත පරිදි පාලියෙන් සඳහන් කරන්න පුළුවන්. 

  1. සෝ භගවා බුජ්ඣිතා සච්චානි ඉතිපි බුද්ධෝ
  2.      ,,       බෝධේතා පජාය ඉතිපි බුද්ධෝ
  3.      ,,       දුක්ඛස්ස පීළනට්ඨං බුජ්ඣිතා, පජාය බෝධේතා ඉතිපි බුද්ධෝ
  4.      ,,       දුක්ඛස්ස සඞ්ඛතට්ඨං ,,
  5.      ,,       දුක්ඛස්ස සන්තාපට්ඨං ,,
  6.      ,,       දුක්ඛස්ස විපරිණාමට්ඨං ,, 
  7.      ,,       සමුදයස්ස ආයූහණට්ඨං ,, 
  8.      ,,       සමුදයස්ස නිදානට්ඨං ,, 
  9.      ,,       සමුදයස්ස සංයෝගට්ඨං ,, 
  10.      ,,       සමුදයස්ස පළිබෝධට්ඨං ,, 
  11.      ,,       නිරෝධස්ස නිස්සරණට්ඨං ,, 
  12.      ,,       නිරෝධස්ස විවේකට්ඨං ,, 
  13.      ,,       නිරෝධස්ස අසඞ්ඛතට්ඨං ,, 
  14.      ,,       නිරෝධස්ස අමතට්ඨං ,, 
  15.      ,,       මග්ගස්ස නිය්‍යානට්ඨං ,, 
  16.      ,,       මග්ගස්ස හේතුට්ඨං ,, 
  17.      ,,       මග්ගස්ස දස්සනට්ඨං ,, 
  18.      ,,       මග්ගස්ස ආධිපතෙය්‍යට්ඨං ,, 
  19.      ,,       සබ්බඤ්ඤුතාය ,, 
  20.      ,,       සබ්බදස්සාවිතාය ,, 
  21.      ,,       අනඤ්ඤනෙය්‍යතාය ,, 
  22.      ,,       විසවිතාය ,, 
  23.      ,,       ඛීණාසව සඞ්ඛාතේන ,, 
  24.      ,,       නිරුපලේප සඩ්ඛාතේන ,, 
  25.      ,,       ඒකන්ත-වීතරාගෝ ,, 
  26.      ,,       ඒකන්ත-වීතදෝසෝ ,, 
  27.      ,,       ඒකන්ත-වීතමෝහෝ ,, 
  28.      ,,       ඒකන්ත-නික්කිලේසෝ ,, 
  29.      ,,       ඒකායන-මග්ගං ගතෝ ,, 
  30.      ,,       ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ ,, 
  31.      ,,       අබුද්ධි විහතත්තා ,, 
  32. සෝ භගවා බුද්ධි පටිලාභා ඉතිපි බුද්ධෝ,

 

මේ පාඨයන්ගේ අර්ථය අපට සිංහලෙන් මේ විදියට සලකගන්න පුළුවන්.

  1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ ආර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කළ බැවින් ද, බුද්ධ නම් වන සේක.
  2.   ,, අන්‍යයන්ටත් අවබෝධ කරවු බැවින් ද, ,,.
  3.   ,, දුක්ඛ සත්‍යයේ පෙළෙන බව නම් වු පීළනාර්ථය, අවබෝධ කොට වදාරා අන්‍යන්ටත් අවබෝධ කරවූ බැවින් ද, බුද්ධ නම් වන සේක.
  4.   ,, දුක්ඛ සත්‍යයේ හේතුවෙන් හටගත් බව නම් වු සංඛතාර්ථය, ,,.
  5.   ,, දුක්ඛ සත්‍යයේ තැවෙන බව නම් වු සන්තාපාර්ථය ,,.
  6.   ,, දුක්ඛ සත්‍යයේ වෙනස්වන බව නම් වු විපරිණාමාර්ථය ,,.
  7.   ,, සමුදය සත්‍යයේ දුක රැස්කිරීම නම් වු ආයූහණාර්ථය ,,.
  8.   ,, සමුදය සත්‍යයේ දුකට හේතුවන බව වු නිදානාර්ථය ,,.
  9.   ,, සමුදය සත්‍යයේ දුකෙහි බැඳෙන බව නම් වු, සංයෝගාර්ථය ,,.
  10.   ,, සමුදය සත්‍යයේ දුකෙන් මිදීමට නොදෙන බව නම් වු, පළිබෝධාර්ථය ,,.
  11.   ,, නිරෝධ සත්‍යයේ දුකෙන් එතරවූ බව නම් වු, නිස්සරණාර්ථය ,,.
  12.   ,, නිරෝධ සත්‍යයේ දුකෙන් වෙන්වීම නම් වු විවේකාර්ථය ,,.
  13.   ,, නිරෝධ සත්‍යයේ හේතුවකින් හටනොගත් නම් වු අසංඛතාර්ථය ,,.
  14.   ,, නිරෝධ සත්‍යයේ මරණයක් නැති බව නම් වු අමෘතාර්ථය ,,.
  15.   ,, මාර්ග සත්‍යයේ නිවනට පමුණුවන බව නම් වු නීය්‍යාණාර්ථය ,,.
  16.   ,, මාර්ග සත්‍යයේ නිවනට පමුණුවන බව නම් වු හේත්වාර්ථය ,,.
  17.   ,, මාර්ග සත්‍යයේ නිවන දක්නා බව නම් වු දර්ශනාර්ථය ,,.
  18.   ,, මාර්ග සත්‍යයේ නිවනට පැමිණීමේ ඉසුරුමත් බව නම් වු ආධිපතෙය්‍යාර්ථය ,,.
  19.   ,, සියල්ල දන්නා බැවින්ද, බුද්ධ නම් වන සේක.
  20.   ,, සියල්ල දක්නා බැවින්ද, ,,.
  21.   ,, අන් කෙනෙකු විසින් නොකළ අවබෝධ ඇති බැවින්ද, ,,.
  22.   ,, කෙළෙස් නින්දෙන් අවදි වු බැවින්ද ,,.
  23.   ,, ආශ්‍රවයන් ක්ෂය කළ බැවින් ද, ,,.
  24.   ,, කෙළෙස් කිලුටක් නොමැති බැවින් ද ,,.
  25.   ,, ඒකාන්තයෙන් වීතරාග බැවින් ද, ,,.
  26.   ,, ඒකාන්තයෙන් වීතදෝෂ බැවින් ද, ,,.
  27.   ,, ඒකාන්තයෙන් වීතමෝහ බැවින්ද, ,,.
  28.   ,, ඒකාන්තයෙන් නික්ලේශි බැවින් ද, ,,.
  29.   ,, ඒකායන මාර්ගයේ ගමන් ගත් බැවින් ද ,,.
  30.   ,, එකලාව ම අනුත්තර සම්මා සම්බෝධියට පැමිණි බැවින්ද, ,,.
  31.   ,, අබුද්ධිය නැසූ බැවින්ද, ,,.
  32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ බුද්ධිය ලැබූ බැවින්ද, බුද්ධ නම් වන සේක.

 

ප්‍රශ්ණය : මේ පදවලත් තේරුම අපට කෙටියෙන් පැහැදිලි කරදෙන සේක්වා කියල අපි ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර :  ඉහත දැක්වූ අනුපිලිවෙලට අපි මේ පදයන්ගේ අර්ථ දක්වන්නම්.

1 වැනිව දැක්වූයේ භාග්‍යවතුන් වහන්සේ කිසිම කෙනෙකුගේ උපකාරයකින් තොරව චතුරාර්ය සත්‍යය අවබෝධ කළ බවයි. මේ සම්බන්ධයෙන් අපි “සම්මා සම්බුද්ධ” ගුණය යටතේ කතා කළා. 

2 තමන් වහන්සේ අවබෝධ කළ චතුරාර්ය සත්‍යය ධර්මය අන්‍යයන්ටත් අවබෝධ කරවූ නිසාත් “බුද්ධ” කියල හඳුන්වනවා. ඒ  එක් එක් ආර්ය සත්‍යය අර්ථ හතර බැගින් ඒ කියන්නෙ 16 ආකාරයකට දහමෙ දක්වලා තියෙනවා. ඒ සම්බන්ධව ඊලඟ පද 16න් පැහැදිලි කෙරෙනවා. මේ කරුණු ටිකක් ගැඹුරුයි. නමුත් මේ දේවල් හොඳින් දැන ගැනීම නුවණ වැඩෙන්න හේතු වෙනවා.

3-6 දුක්ඛාර්ය වශයෙන් හඳුන්වන පංච ස්කන්ධයෝ නිතරම ඇතිවීම් නැතිවීම් දෙකෙන් පීඩාවට පත්වීම තමයි “පීළනාර්ථය” කියල හඳුන්වන්නේ. ඒ වගේම තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති හේතූන්ගෙන් හටගන්නා බව “සංඛතාර්ථයයි”. ජාති ජරා මරණාදී දුක්ගිනි එකොළසකින් නිතරම තැවෙන බව “සන්තාපාර්ථය” යි. නිරන්තර වෙනසට පත්වීම “විපරිණාමාර්ථය”යි.

7-10 මීළඟට සමුදය කියල හඳුන්වන තෘෂ්ණාව සම්බන්ධ කරුණු හතරක් දක්වනවා. දුක් උපදින කර්ම රැස්කරන බව “ආයූහනාර්ථයයි”. ස්කන්ධ දුකට නිදානයක් වන බව නැත්නම් නිරන්තර දුක් ලබාදෙන බව “නිදානාර්ථයයි”. දුකෙහිම බැඳ තබන බව “සංයෝගාර්ථයයි”. මග පල නිවන් යා නොදී බාධා කරන බව “පළිබෝධාර්ථයයි”. 

11-14 නිරෝධය එහෙම නැත්නම් නිවන සම්බන්ධව, සසර දුකින් නික්මුණ බව “නිස්සරණාර්ථයයි”.  නාම-රූප ස්කන්ධ දුකින් අමිශ්‍ර බව “විවේකාර්ථයයි”. හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් ශාන්ත සුවයක් බව “අසංඛතාර්ථයයි”. මරණයක් නැති බව “අමතාර්ථයයි”.

15-18 ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධව, අරමුණු කිරීම් වශයෙන් නිවනට නික්මෙන බව “නීයානාර්ථයයි”. නිවන් පසක් කිරීමේ හේතුව බව “හේතුඅර්ථයයි”. ලක්ෂණ වශයෙන් නිවන අරමුණු කොට දකින බව “දර්ශනාර්ථයයි”. අනාථ-අසරණ වූ – සසර දුක ඉක්මවා යන බැවින්, ඉන් නැගී සිටි, ඉසුරුමත් බව “ආධිපතෙය්‍යාර්ථයයි”.

19-24 ඒ අපේ භාග්‍යවතුන් වහන්සේ  ආවර්ජන කළ පමණින් සියල්ල දැන ගත හැකි නිසා “සබ්බඤ්ඤූ” කියල හඳුන්වනවා. ඒ වගේම ආවරණ නැතිව සියල්ල විනිවිද දකින නිසා “සබ්බදස්සාවී” කියලත්, අනෙක් කෙනෙකු නිසා නොව, තමන් වහන්සේම සියල්ල අවබෝධ කළ නිසා “අනඤ්ඤනෙය්‍ය” කියලත්, තමන් වහන්සේම සම්මෝහ කෙළෙස් නින්දෙන් අවදි වූ බැවින් ද අන්‍යයන්ගේ සිත්වලත් ඒ සඳහා වීර්යය උපදවන බැවින් ද “විසවී” යනුවෙනුත්,  ආස්‍රවයන්ගෙන් තොර නිසා “ඛීණාසවෝ” කියලත්, වාසනා සහිත වූම කෙළෙස් ලේප නොමැති නිසා “නිරුපලේපෝ” කියලත් හඳුන්වනවා. මේ සියලු කරුණු නිසා බුද්ධ කියල හඳුන්වනවා.

25-32 මීට අමතරව ඒකාන්තයෙන් රාගයෙන් තොර වූ බැවිනුත්, ද්වේෂයෙන් තොර වූ බැවිනුත්, මෝහයෙන් තොර වූ බැවිනුත්, නික්ලේෂී බැවිනුත්, ඒකායන නිවන් මාර්ගයේ වැඩම කළ බැවිනුත්, එකලාවම අන්‍ය උපකාරයෙන් තොරව සම්බුද්ධත්වය අවබෝධ කළ බැවිනුත්, අබුද්ධිය නැසූ බැවිනුත්, බුද්ධිය ලැබූ බැවිනුත් බුද්ධ කියල හඳුන්වනවා.

මෙසේ අන්‍යයන්ව සසර දුකින් මුදවාලීම සඳහා තම ජීවිතය, අඟපසඟ දන් දීම් ආදී අනන්ත අප්‍රමාණ කැපකිරීම් සසරෙදීත් සිදුකළ සේක. මේ ජීවිතයේදීත් ලැබීමට තිබූ සක්විති රජ සම්පත් හැර දමා සාමාන්‍ය මිනිසෙකුට කිරීමට තබා හිතීමටත් අසීරු ආකාරයේ දුෂ්කර ක්‍රියාවන් සිදුකර සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක. එයින් පසු දහම් අවබෝධය ලැබීමට සුදුසු අය වෙත පා ගමනින් පවා වැඩම කරමින්, ඇතැම් විට සැතපුම් සිය ගණන් දුර වැඩම කරමින් ඒ අයට අමා නිවන් සුව සලසා දුන් සේක. මෙසේ අනන්ත අප්‍රමාණ ගුණයෙන් යුක්ත වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා කියල අපි වන්දනා කරමු. පෙර බුදුගුණ වලදි වගේම මේ ගුණයත් හොඳින් පුරුදු පුහුණු කරගන්නට හැම දෙනාටම හැකියාව ලැබේවා කියල අපි මෛත්‍රියෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.