Categories
Q & A Category 9

2 “පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේගේ ශබ්දය ඇසීම පවා සිත සන්සුන් වේ, ඔබවහන්සේ කිසිදිනෙක නොදැක වුවද අප්‍රමාණ ගුණ භාවයක් ඇති බව මගේ සිතට දැනෙයි. මා ගැන අනුකම්පාවෙන් මා හට මේ භවයේදී නිවන් පසක් කිරීමට උපදෙස් ලබා දෙන සේක්වා! ඔබවහන්සේට උතුම් නිර්වාණයම වෙත්වා! දැනට මාස කිහිපයක පටන් භාවනාව මම කරමි. ආනාපානසති භාවනාව ආරම්භ කලෙමි හුස්ම රැල්ල අරමුණු ක‌ළෙමි. ක්‍රමයෙන් හුස්මරැල්ල කෙටි විය. ශරීරය දැනීම සියුම් විය. හුස්ම රැල්ල තුල හොදින් අරමුණු විය. ශරීරය එකම බැලුමක් ලෙස පිම්බීමක් හා හැකිලීමක් අරමුණු විය. ඉතා ප්‍රභාශ්වර ආලෝක සංඥාවක් පහල විය. දහවල් කාලයේ ඇස පියාගෙන ඉර දෙස බලන්නාක් මෙන්. (මා භාවනා කරන්නේ කාමරයේ සියලුම බල්බ් නිවා දමාය) කායිකව හොද සන්සුන් පස්සද්ධි ස්වභාවයක් පවතී. මෙලෙස පැයක් පමණ භාවනාවේ සිට එයින් නැගිට යම් වෙලාවකින් නැවත භාවනා කිරීමට සිත්විය. ඒ අදහසින් අනාපනසතිය පෙර ලෙසම ආරම්භ කලෙමි. සුළු වෙලාවකින් හුස්ම සියුම් වීම, කය දැනීම අඩුවීම හා ප්‍රභාශ්වර ආලෝක පහල වීම සිදුවිය. කාය ඉතා සැහැලුවෙන් පැවතුනි. මෙලෙස පැය භාගයක් පමණ යනවිට දණහිසක වේදනාවක් සියුම් ලෙස දැනෙන්නට විය. එවිට එම වේදනාව අරමුණු ක‌ළෙමි. එවිට එම වේදනාව තුලට කිඳා බැස්මක් වැනි ස්වභාවයක් සිදුවිය. ශරීරය නැතිව එක වේදනාවක ස්වභාවයක් වචනයෙන් කීමට අපහසුය සමාවන්න. වේදනාව අඩුවී ගියවිට නැවත අනාපානසතිය ආරම්භ ක‌ළෙමි. මඳ වෙලාවකින් නැවත කය සැහැල්ලු වී පොළොවෙන් උස්ව සිටිනවා මෙන් සැහැල්ලු විය. හුස්ම ගැටෙන තැන හා පොලොව අතර කයක් නොමැති ස්වභාවයක් මෙනි. මේ වන විට ප්‍රභාවශ්වර රැස් වළලු ලොකු වල්ලක් සිට කුඩා වළල්ලක් දක්වා එකක් පස්ව එකක් පෙනෙන්නට විය. ප්‍රථම ධ්‍යානයට අධිෂ්ඨාන කළ යුතුයැයි සිතිවිල්ලක් පහල විය. ඒ සමගම මම ප්‍රථම ධ්‍යානයට අධිෂ්ටාන ක‌ළෙමි. එවිට එම රැස් වළලු තුලට කිදා බැස එය ඇතුලට ගැඹුරට වැටෙන බවක් දැණින. පසුව ඉතා සැහැල්ලු ස්වභාවයක සිටියෙමි. විනාඩි කිහිපයක් පමණ උපදේශයක් ලබාගතයුතු යයි සිතා නැගිටුනෙමි. මෙම අත්දැකීමෙන් පසු මගේ ජීවන රටාවේ පවා වෙනස් වීම් සිදු විය. උදෑසන මෙම වෙලාවට නැගිටිමි කියා සිතා නිදාගතහොත් හරියටම එම වෙලාවට මා අවදි වීමි. පාන්දර පවා නැගිට සක්මනද පර්යංක භාවනාවද ක‌ළෙමි. කාර්යාලයේද විවේකයක් ලද විට ඇස පියාගෙන භාවනා කරමි. ඉතාම සැහැල්ලු බවක් සතුටක් පවතී. මෙම සුවය බුදුපියාණන්වහන්සේ නිසාමයි නේද සිතමින් අනෙකවාර සතුටු වෙමි. ක්ලේශයන් ඇතිවන සැටි ප්‍රබල වන සැටි සතියෙන් බලන කළ නැතිවී යයි. භාවනාව සෑම දිනකම නොකඩවා ක‌ළෙමි. සමහර දිනයන්හිදී සමාධිය ඇති නොවුන අතර අනෙක් දිනවලදී සමාධිය ඇතිවිය. තව දිනෙක මෛත්‍රී භාවනාව වැඩීමට සිත්වුනු අතර ආනාපානසති භාවනාව වඩා සමාධිගත වූ පසු එයින් නැගිට මෛත්‍රී භාවනාව පටන් ගතිමි. ප්‍රථමව මට මෛත්‍රී වැඩු අතර ඉන්පසු මගේ කල්‍යාණ මිත්‍රයා අරමුණු කොට භාවනා ක‌ළෙමි. ඔහු සුදු ඇදුමකින් හැඳ සිනාමුසුව සිටින ආකාරය හොදින් පෙනිණ. මුහුණ ලගින් පෙනුන අතර සුවපත්වෙවා සිතීම සමග ඔහු භාවනා කරන ආකාරයක් පෙනින. ප්‍රභාවශ්වරය. ඔහු භාවනා කරන ආකාරය ඉදිරියෙන් පසුපසින් වමින් දකුණින් හොදින් පෙනිණ. ඉතාමත් ප්‍රණීත සතුටක් ඇතිවිය. ශරීරය සැහැල්ලුය. පැයක් පමණ භාවනාවේ හිඳ නැගිට නිදාගන්නට ගියෙමි. ටික වෙලාවකින් කය නොදෙනීමේ අත්දැකීම ඇදෙහිදීද ඇතිවිය. උදෑසන තෙක් පස්සද්ධියක් තිබිණ. පින්වත් ස්වාමින්වහන්ස, පොතපත කියවා ධර්ම දේශනා අසමින් මා ගමන් කරන මේ මාර්ගය සත්‍ය යැයි මට හොදින් වැටහේ. ධර්මය අදටත් එදා මෙන්ම විවරව පවතින බව මට දැනෙයි. වර්තමානය තුලම භාවනාව නිසා සුවයට පත්වන ඔබවහන්සේලගේ පයට පෑගෙන දුහුවිල්ලක වටිනාකමක් නැති මම වැනි ධර්මයට ආධුනිකයන් ධර්මය නිසා මෙලෙස සුවයට පත්වීම මෙසේ නම් නිවන් සුවය ගැන සිතා ගැනිමටවත් නොහැක. නිවන් මාර්ගය යාමට එම නිසා නිතිපතා වීර්ය වඩන අතර මාහට අනුකම්පාවෙන් උපදෙස් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබවහන්සේට නිදුක් නිරෝගී බවද උතුම් නිර්වාණයද ප්‍රර්ථනා කරමි. තෙරුවන් සරණයි!”

to top