බුද්ධානුස්සති භාවනාව - භගවා ගුණය
අපි නවවන බුදු ගුණය වන “භගවා” ගුණය භාවනා කරන විදිය ගැන ගෞරවණීය ස්වාමින් වහන්සේගෙන් අසා දැන ගනිමු. අවසරයි ස්වාමින් වහන්ස!
පිළිතුර : තෙරුවන් සරණයි! මේ තාක් අපි මුල් බුදුගුණ අට ගැන තොරතුරු දැන ගත්තා. අද අපට කතා කරන්න තියෙන්නෙ නව වෙනි එහෙම නැත්නම් අවසන් බුදු ගුණය වන “භගවා” ගුණය ගැනයි. පෙර බුදුගුණ පද හුරු අයට මේ පදයත් පහසුවෙන් පුරුදු කරන්න පුලුවන්. මහානිද්දේසපාලි ආදී ධර්ම ග්‍රන්ථවල දැක්වෙන විදියට අපට පහත විදියට මේ ගුණයේ අර්ථ පාලියෙන් සිහිකරන්න පුලුවන්.
- සෝ භගවා භාග්‍යවා ඉතිපි භගවා
- ” භග්ගවා ”
- ” භගේහි යුත්තෝ ”
- ” විභත්තවා ”
- ” භත්තවා ”
- ” භවේසු වන්තගමනෝ ”
- ” භාවිතත්තෝ ”
- ” භාගීවා චතුන්නං පච්චයානං ”
- ” භාගීවා අත්ත-ධම්ම-විමුක්තිරසානං ”
- ” භාගීවා අධිසීල-අධිචිත්ත-අධිපඤ්ඤානං ”
- ” භාගීවා චතුන්නං ඣානානං ”
- ” භාගීවා චතුන්නං අප්පමඤ්ඤානං ”
- ” භාගීවා චතුන්නං අරූප-සමාපත්තීනං ”
- ” භාගීවා අට්ඨන්නං විමොක්ඛානං ”
- ” භාගීවා අට්ඨන්නං අභිභායතනානං ”
- ” භාගීවා නවන්නං අනුපුබ්බ විහාරසමාපත්තීනං ”
- ” භාගීවා දසන්නං සඤ්ඤා භාවනානං ”
- ” භාගීවා දසන්නං කසිණ සමාපත්තීනං ”
- ” භාගීවා ආනාපානසති සමාධිස්ස ”
- ” භාගීවා අසුභ-සමාපත්තීනං ”
- ” භාගීවා චතුන්නං සතිපට්ඨානානං ”
- ” භාගීවා චතුන්නං සම්මප්පධානානං ”
- ” භාගීවා චතුන්නං ඉද්ධිපාදානං ”
- ” භාගීවා පඤ්චන්නං ඉන්න්‍ද්‍රියානං ”
- ” භාගීවා පඤ්චන්නං බලානං ”
- ” භාගීවා සත්තන්නං බොජ්ඣඞ්ගානං ”
- ” භාගීවා අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස ”
- ” භාගීවා දසන්නං බලඤාණානං ”
- ” භාගීවා චතුන්නං වේසාරජ්ජානං ”
- ” භාගීවා චතුන්නං පටිසම්භිදානං ”
- ” භාගීවා ඡන්නං අභිඤ්ඤානං ”
- ” භාගීවා ඡන්නං බුද්ධධම්මානං ”
ඉහත පදවල සිංහල තේරුම මේ විදියයි.
- ස්වාමීනි, භග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ පාරමිතා නම් වු පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත බැවින් ද, භගවා නම් වන සේක.
- ” ” ක්ලේශ මාර – ස්කන්ධ, මාර – අභිසංස්කාර, මාර දිව්‍යපුත්‍ර මාර, මච්චු මාර යන පඤ්ච මාරයන් බිඳ දැමූ බැවින්ද, ” ”
- ” ” ඓශ්වර්‍ය්‍ය, ධර්ම, යශ, ශ්‍රී, කාම, ප්‍රයත්න යන සයක් වු භාග්‍ය ධර්මයන්ගෙන් සමන්නාගත බැවින් ද, ” ”
- ” ” ස්කන්ධ-ආයතන-ධාතු-ඉන්ද්‍රිය-සත්‍ය-පටිච්ච සමුප්පාද ආදී ලෙස ධර්මයන් බෙදා වදාළ බැවින් ද,
- ” ” සේවනය කටයුතු වු ධ්‍යාන – අභිඤ්ඤා – මාර්ග – ඵල ආදී උත්තරි මනුෂ්‍ය ධර්මයන් සේවනය කළ බැවින් ද, ” ”
- ” ”සසර ගමනට හේතු වු තෘෂ්ණාව වමාරා ශාන්ත නිවනට සැපත් වු බැවින්ද, ” ”
- ” ” සර්ව සම්පූර්ණ ලෙස පුරුදු කරන ලද, කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා ඇති බැවින්ද, ” ”
- ” ” චීවර-පිණ්ඩපාත-සේනාසන-ගිලානප්‍රත්‍යය යන නිවැරදි සිවුපස ලාභී බැවින්ද, ” ”
- ” ”අර්ථ (ඵලාවබෝධය) – ධර්ම (හේතු අවබෝධය) – විමුක්ති (පඤ්ච විමුක්තිය) රස ලාභී බැවින්ද, ” ”
- ” ” මාර්ග සිත්වල යෙදෙන සීල – සමාධි ප්‍රඥා නම් වූ අධිසීල – අධිචිත්ත – අධිප්‍රඥා ලාභී බැවින්ද, ” ”
- ” ”සතරක් වු රූපාවචාර ධ්‍යාන සමාපත්ති ලාභී බැවින් ද, ” ”
- ” ” මෙත්තා-කරුණා-මුදිතා-උපේක්ෂා යන සතරක් වු බ්‍රහ්මවිහාර ධ්‍යාන සමාපත්ති ලාභී බැවින්ද, ” ”
- ” ” ආකාසනඤ්චායතන ආදී සතරක්වු අරූපාවචර ධ්‍යාන සමාපත්ති ලාභී බැවින්ද ” ”
- ” ”අටක් වු විමෝක්ෂ්‍ය ධ්‍යාන සමාපත්ති ලාභී බැවින්ද, ” ”
- ” ”අටක් වූ අභිභායතන නම් ධ්‍යාන සමාපත්ති ලාභී බැවින්ද, ” ”
- ” ” ප්‍රථම ධ්‍යානය පටන් නිරෝධ සමාපත්තිය දක්වා නවයක් වු අනුපූර්ව විහාර සමාපත්ති ලාභී බැවින්ද, ” ”
- ” ” (අනිච්ච සඤ්ඤා – අනත්ත – අසුභ – ආදිනව – පහාන – විරාග – නිරෝධ – සබ්බලෝකේ අනභිරත – සබ්බ සඞ්ඛාරේසු අනිච්ඡා සඤ්ඤා හා ආනාපාන සති යන) දස සඤ්ඤා භාවනා ලාභී බැවින්ද, ” ”
- ” ” ( පඨවි කසිණ – ආපෝ – තේජෝ – වායෝ – නිල – පීත – ලෝහිත – ඕදාත – ආකාස – හා ආලෝක කසිණ යන) දස කසින සමාපත්ති ලාභී බැවින්ද, ” ”
- ” ”ආනාපානසති භාවනා ලාභී බැවින්ද, ” ”
- ” ” (උද්ධුමාතක – විනීලක – විපුබ්බක – විච්ජිද්දක – වික්ඛායිතක – වික්ඛිත්තක – හතවික්ඛිත්තක – ලෝහිතක – පුලවක හා අට්ඨික යන) දස අසුභ සමාපත්ති ලාභී බැවින්ද, ” ”
- ” ”සතර සතිපට්ඨාන ලාභී බැවින්ද, ” ”
- ” ”සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ලාභී බැවින්ද, ” ”
- ” ”සතර ඍද්ධිපාද ලාභී බැවින්ද, ” ”
- ” ”පඤ්ච ඉන්ද්‍රිය ධර්ම ලාභී බැවින්ද, ” ”
- ” ”පංචබල ධර්ම ලාභී බැවින්ද, ” ”
- ” ”සප්ත බොජ්ඣඩ්ග ධර්ම ලාභී බැවින්ද, ” ”
- ” ”ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ග ලාභී බැවින්ද, ” ”
- ” ” (ඨානාඨාන ඤාණය – කම්ම විපාක – සබ්බත්ථ ගාමිණී පටිපදා – අනේකධාතු නානාධාතු ලෝක – නානාධිමුත්තිකතා – ඉන්ද්‍රිය පරෝපරියත්ත – ඣානාදීනං සංකිලේසාදි ඤාණ – පුබ්බේ නිවාස – දිබ්බචක්ඛු හා ආසවක්ඛය ඤාණ යන) දශ බල ඥාණ ලාභී බැවින්ද ” ”
- ” ” (බුද්ධත්වය – ආශ්‍රවක්ෂය – අන්තරායික ධර්ම හා නෛර්‍ය්‍යානික ධර්මය ගැන යන) චතු විශාරද ඤාණ ලාභී බැවින්ද, ” ”
- ” ” (අර්ථ – ධර්ම – නිරුක්ති – ප්‍රතිභාන පිළිබඳ) චතු පටිසම්භිදා ඤාණ ලාභී බැවින්ද, ” ”
- ” ” (ඍද්ධිවිධ-දිව්‍යශ්‍රෝත – පරචිත්ත විජානන- පූර්වේනිවාස – දිව්‍ය චක්ෂු හා ආශ්‍රව ක්ෂයකර ඤාණ යන) ෂඩ් අභිඥා ලාභී බැවින්ද, ” ”
- ස්වාමීනි, භග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ (සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ගැන දන්නා නුවණ නම් වූ ඉන්ද්‍රිය පරෝපරිය ඤාණය, ආසයානුසය, යමක ප්‍රාතිහාර්ය, මහාකරුණා සමාපත්ති, සර්වඥතා, අනාවරණ යන අන්‍යයන්ට නොපිහිටන අසාධාරණ ඤාණ නම් වූ) සයක් වු බුද්ධ ධර්ම ලාභී බැවින්ද, භගවා නම් වන සේක.
මේ විදියට භගවා ගුණය සිහි කරන්න පුලුවන්. “භගවා” කියන මේ පදය ත්‍රිපිටකයේ බොහෝ අවස්ථාවල යෙදිල තියෙන නිසා එහි අර්ථ හොඳින් දැන ගැනීම වැදගත් වෙනවා. මේ භාවනා පදයත් කලින් පද වගේම සිත හොඳින් තැන්පත් වන තෙක්ම උපචාර සමාධි මට්ටම තෙක්ම පුහුණු කරගන්න හැමෝටම අවස්ථාව ලැබේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.
අද දවසෙන් බුද්ධානුස්සති භාවනාව සම්බන්ධව විස්තර කිරීම අවසන් වෙනවා. ඉතිං අපි මේ බුද්ධානුස්සති භාවනා වශයෙන් රැස් කරගත් කුසලයේ ආනිසංස වශයෙන් සියලු ලෝක සත්වයන්ටම සුවසේ නිවන් අවබෝධ කරගන්න ලැබේවා! සාසනාරක්ෂක ලෝකපාලක සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතා පිරිසටත් තව තවත් ඒ කටයුතු සාර්ථකව සිදු කරමින් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයත් අනුමෝදන් වෙන්න ලැබේවා! සම්බුද්ධ සාසනය චිරාත් කාලයක් පවතීවා කියල මෛත්‍රියෙන් ආශිර්වාද ප්‍රාර්ථනා සිදු කරමු. සෑම සියලු දෙනාටම සෙතක් යහපතක්ම වේවා.