Categories
Articles - Sinhala

වේදල්ල (හයවන කොටස)

බුද්ධානුස්සති භාවනාව - සුගත ගුණය

ප්‍රශ්ණය : අපි භාග්‍යවතුන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්න ගුණය ගැන කලින් දැනගත්තා. අද අපට සුගත ගුණය ගැන කරුණු පැහැදිලි කරන සේක්වා කියල අපි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමින් වහන්ස!

පිළිතුර : හොඳයි තෙරුවන් සරණයි! අපේ බුදු රජාණන් වහන්සේගේ අනන්ත ගුණ අතරින් බුදුගුණ පාඨයේ හතරවැනිවට දක්වල තියෙන්නෙ “සුගත” බුදුගුණයයි. මේ ගුණපදයේ ප්‍රධාන තේරුම “අතිශය සුන්දර වූ නිර්වාණය සාක්ෂාත් කළ උතුමන් වහන්සේ” කියන එකයි. ඒ බව “සුන්‌දරඤ්‌ච නිබ්‌බානසඞ්‌ඛාතං ඨානං ගතත්‌තා සුගතොති වුච්‌චති” යනාදී සුත්තනිපාත අටුවා පාඨ අනුවත් ප්‍රකට වෙනව. ඒ වගේම තවත් කරුණු කීපයක් නිසාම භාග්‍යවතුන් වහන්සේව “සුගත” කියල හඳුන්වනව. ඒ කරුණු මේ විදියට පාළියෙන් සජ්ඣායනා කරන්න පුළුවන්.

  1. සෝ භගවා සෝභනගමනත්තා ඉතිපි සුගතෝ
  2. සෝ භගවා සුන්දරං ඨානං ගතත්තා ඉතිපි සුගතෝ.
  3. සෝ භගවා සම්මා ගතත්තා ඉතිපි සුගතෝ.
  4. සෝ භගවා සම්මා වා ගතත්තා ඉතිපි සුගතෝ.
  5. සෝ භගවා සම්මා ගදත්තා ඉතිපි සුගතෝ.

මේ කරුණු පාලියෙන් නොතේරෙනව නම් කලින් විදියටම ඒ අර්ථ සිංහලයෙන් භාවිතා කරන්නත් පුළුවන්. පහත විදියට ඒ අර්ථ ගලපගන්න පුළුවන්;

  1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ පාරිශුද්ධ වූ ආර්ය මාර්ග සංඛ්‍යාත ශෝභන ගමන් ඇති හෙයින්ද, සුගත නම් වන සේක.
  2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ අජරාමර ශාන්ත සුන්දර නිර්වාණයට ගමන්ගත් බැවින්ද, සුගත නම් වන සේක.
  3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ සතර මඟ නැණින් නැසූ කෙළෙසුන් නැවත නූපදවමින් ගමන් ගත් බැවින්ද, සුගත නම් වන සේක.
  4. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ දීපංකර පාද මූලයේ පටන් බෝධි මූලය දක්වා මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත් බැවින්ද, සුගත නම් වන සේක.
  5. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ! ඔබ වහන්සේ සාර්ථක වූ සද්ධර්ම දේශනා ඇති බැවින්ද, සුගත නම් වන සේක.

කියල මේ විදියට සිංහලෙන් මෙනෙහි කරන්නත් පුළුවන්.

 

ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! මෙතනදිත් සුගත ගුණය ගැන ප්‍රධාන කරුණු පහක් කියැවුණා. ඒ එකිනෙකක අර්ථය කෙටියෙන් පැහැදිළි කරදෙන සේක්වා කියල අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : ඒ කරුණු අතරින් මුලින්ම තියෙන්නෙ “සෝභනගමනත්තා සුගතෝ” කියලයි. මේ කරුණ උදාන අටුවා, විශුද්ධි මාර්ගය ආදී දහම් ග්‍රන්ථවල පැහැදිලි කරන්නෙ “ආර්ය මාර්ගය කරණකොට ගෙන ක්‍ෂේම දිශාව නම් වූ නිවන වෙතට තමන් වහන්සේත් වැඩම කොට අන් අයවත් ඒ දෙසට යොමු කළ නිසා” සුගත නම් වන බවයි. මෙතන ගමන කියල හඳුන්වන්නෙ ඤාණ ගමනයි. ඤාණයෙන් අරමුණු කිරීමත් ගමනක් විදියට පාළි භාෂාවෙ යෙදෙනවා. “බුද්ධං සරණං ගච්ඡාමි” (බුදුරජුන් සරණ යමි) කියන තැන් වලත් තේරුම ඒ විදියයි.

          දෙවැනියට කියැවෙන්නෙ “සුන්දරං ඨානං ගතත්තා සුගතෝ” කියලයි. මෙතනදිත් නිර්වාණය කියන පරමාර්ථ ධර්මය තණ්හාදී කෙළෙසුන්ගෙන් තොර නිසා, අපිරිසිදු දේවලින් තොර තැනක් වගේ නිසා, අභයස්ථානයක් නිසා “ශාන්ත සුන්දර නිර්වාණය” කියල කියනව. “යථා අභයට්‌ඨානං, එවං නිබ්‌බානං දට්‌ඨබ්‌බං” නිවන අභයස්ථානයක් වගේ  දැනගන්න කියල මිළින්ඳ ප්‍රශ්ණය ආදී දහම් පොත් වලත් කියල තියෙනවනෙ.

          තුන්වැනි පදය “සම්මා ගතත්තා සුගතෝ” කියන එකයි. ඒ ඒ මාර්ගඤාණයෙන් ප්‍රහාණය කළ කෙළෙස් වෙත නැවත නොපැමිණෙමින්, ආපසු නො එමින් නිවන වෙත ගමන් කළ නිසා “සුගත” කියල හඳුන්වනව. මේ කරුණ මහානිද්දේස ආදී දහම් පොත්වල “සොතාපත්‌තිමග්‌ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච්‌චෙති න පච්‌චාගච්‌ඡති” (සෝවාන් මාර්ග ඤාණයෙන් යම් කෙළෙස් ප්‍රහාණය කරනු ලැබුවා ද ඒ කෙලෙස් වෙත නැවන නො පැමිණෙන සේක.) යනාදී විදියට පහදනවා.

          හතරවැනිව “සම්මා වා ගතත්තා සුගතෝ” කියල දක්වනව. මෙතනදි දීපංකර පාදමූලයේ පටන් බෝධිමූලය දක්වාම එහෙම නැත්නම් නිවන් අවබෝධය දක්වාම යහපත් ප්‍රතිපත්තියෙන් ලෝක සත්වයාට යහපතම සිදු කරමින්, ශාස්වත – උච්ඡේද ආදී දෘෂ්ටි වලටත් කාමසුඛල්ලිකානුයෝග අත්තකිලමථානුයෝග ආදී අන්ත වලටත් පත් නොවී පාරමී දහම් පුරමින් යහපත් ප්‍රතිපත්ති මාර්ගයක ගමන් කළ නිසා “සුගත” කියල හඳුන්වනවා.

          පස්වැනි කරුණ “සම්මා ගදත්තා සුගතෝ” කියන එකයි. අපේ භාග්‍යවතුන් වහන්සෙ සුදුසු ස්ථානයේදි එතනට වඩාත්ම ගැලපෙනම වචනය දේශනා කරනව. තේරුමක් නැති අනර්ථකාරී වචන බුදුමුවින් පිටවන්නේම නෑ. ඇත්තක් වුනත් ඒක අනර්ථකාරී නම් දේශනා කරන්නෙ නෑ. සුදුසු දේත් සුදුසුම වෙලාවෙදියි දේශනා කරන්නෙ. ඒ නිසා “යහපත් ආකාරයෙන් දේශනා කරන බැවින් සුගත නම් වෙනව”  කියල පහදනවා. භාග්‍යවතුන් වහන්සෙගෙ හය ආකාර වූ දේශනා විලාසයන් ගැන මජ්ඣිම නිකායෙ අභයරාජකුමාරසූත්‍රය වගේ තැන්වල දැක්වෙනව. වැඩිදුර කරුණු දැනගන්න කැමති නම් ඒ සූත්‍ර කියවල දැනගන්න පුළුවන්.

 

ප්‍රශ්ණය : සුගත පදය විස්තර කරන බොහෝ පොත්වල ඊට සම්බන්ධව “තථාගත” පදයත් විස්තර කරල තියෙනව අපි දැකල තියෙනවා. ඒකට හේතුවත් ස්වාමින් වහන්සේ අපට කෙටියෙන් පැහැදිලි කර දෙන සේක්වා.

පිළිතුර : ඔව් ඒ පද දෙකේ අර්ථය බොහෝ සමානයි. ඒ නිසා තමයි රේරුකානේ මාහිමිපාණන්ගේ සූවිසි මහගුණය ආදී පොත්වලත් සුගත ගුණය යටතේ මේ පදය විස්තර කරන්නෙ. ඒ තථාගත පදයේ අර්ථ විග්‍රහ කරන ආකාරය දීඝනිකායෙ පාසාදික සූත්‍රය, චූළනිද්දෙසපාළිය, දීඝනිකාය අටුවාව ආදී දහම් පොත්වල කියල තියෙනවා. ඒ විස්තර කිරීම් සුගත පදයට බොහෝ සමානයි.

 

ප්‍රශ්ණය : කෙටියෙන් ඒ පදයේ අර්ථය දැනගන්න ඕන කොහොමද ස්වාමින් වහන්ස?

පිළිතුර : පාසාදික සූත්‍රයේදි“අතීතානාගතපච්‌චුප්‌පන්‌නෙසු ධම්‌මෙසු තථාගතො කාලවාදී භූතවාදී අත්‌ථවාදී ධම්‌මවාදී විනයවාදී, තස්‌මා ‘තථාගතො’ති වුච්‌චති.” (තථාගතයින් වහන්සේ කාල තුනට අයිති ධර්මයන්හි සුදුසු කාලය දැන, සිදු වූ, අර්ථවත් දෙයක්ම වදාරන්නේය, ලෞකික ලෝකෝත්තර ධර්ම ඇසුරු කරන දහමක්ම වදාරන්නේය, එබැවින් “තථාගත” යැයි කියනු ලැබේ.) යනාදී විදියට මේ පදය පහදනව. ඒ සූත්‍රය අනුව “සුදුසු කල් දැන යහපත් දේම වදාරණ නිසා, සියල්ල අවබෝධ කළ නිසා, යමක් දේශනා කළා නම් ඒ දහම ඒ අයුරින්ම සිදුවන නිසා, දේශනා කරන පරිදි පිළිපදින – ඒ පරිදිම දේශනා කරන නිසා, සීල – සමාධි – ප්‍රඥාදී ගුණයන්ගෙන් සියලුම සත්වයන්ව අභිභවනය කරන නිසා” යනාදී කරුණු අනුව භාග්‍යවතුන් වහන්සේව තථාගත කියල හඳුන්වන බව දන්වනව. චූළනිද්දෙසපාළියෙත් ඒ කරුණුම පැහැදිලි කරල දක්වල තියෙනවා.

          බ්‍රහ්මජාල සූත්‍ර අටුවාවෙදි මේ පදය කරුණු අටක් යටතේ දීර්ඝව විස්තර කරල තියෙනවා. ඒ කරුණු අට රේරුකානේ මාහිමිපාණන්ගේ සූවිසි මහගුණය වගේ පොත්වල විස්තර කරල තියෙනවා. ඒ නිසා අපි ඒ කරුණු අට විතරක් කෙටියෙන් දක්වන්නම්.

  1. තථා ආගතොති තථාගතො, (පෙර බුදුරජාණන් වහන්සේලා සියලු ලෝක සත්වයන්ට හිතසුව පිණිස පාරමී පිරීම් ආදී යම් ප්‍රතිපදාවකින් බුද්ධත්වය දක්වා පැමිණි සේක් ද ඒ ප්‍රතිපදාවෙන්ම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් බුද්ධත්වයට පැමිණි නිසා)
  2. තථා ගතොති තථාගතො, (පෙර බුදුරජාණන් වහන්සේලා උපන් වේලාවේම උතුරු දිශාව බලා පියවර හතක් වැඩම කර උදාන වාක්‍ය වදාළ සේක් ද එසේම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් වැඩමකළ නිසා)
  3. තථලක්‌ඛණං ආගතොති තථාගතො, (තථ කියල කියන්නෙ සත්‍යයට කියන නමක්. සියළු ධර්මයන්ගේ සැබෑ – සත්‍ය ලක්ෂණ අවබෝධ කළ නිසා)
  4. තථධම්‌මෙ යාථාවතො අභිසම්‌බුද්‌ධොති තථාගතො, ( චතුරාර්ය සත්‍ය ධර්ම තත් වූ පරිදි අවබෝධ කළ නිසා)
  5. තථදස්‌සිතාය තථාගතො, (ඇස ආදී ද්වාරයන්ට හමුවන සියලු සංස්කාර ධර්ම සත්ව පුද්ගල ආත්ම වශයෙන් නොගෙන ඒවා සංස්කාර පිණ්ඩ ලෙස සැබෑ – සත්‍ය ආකාරයෙන්ම දකින බැවින් ද)
  6. තථවාදිතාය තථාගතො, (වෙනස් නොවෙන, කිසිවෙකුටත් බොරු කළ නොහැකි වචන ඇති බැවින් ද)
  7. තථාකාරිතාය තථාගතො, (“යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී ගුණය” එනම් දේශනා කරන පරිදි කටයුතු කරන, කටයුතු කරන පරිදි දේශනා කරන ගුණය ඇති නිසා, අංගුත්තරනිකායේ ලෝකසූත්‍රය ආදී තැන්වලත් මේ ගුණය ගැන කියැවෙනව.)
  8. අභිභවනට්‌ඨෙන තථාගතො (සීල – සමාධි – ප්‍රඥාදී ගුණයන්ගෙන් සියලුම සත්වයන්ව අභිභවනය කරන නිසා)

මේ අර්ථ හොඳින් දැනගෙන කලින් භාවනා පද වලදි වගේම අර්ථය හොඳින් හිතට දැනෙන විදියට “සුගතො, සුගතො” කියල භාවනා කරද්දි කලින් වගේම උපචාර සමාධි දක්වා සමාධිය දියුණු කරගන්න පුළුවන්. හැමදෙනාටම ඒ භාග්‍යය ලැබේවා කියල අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.