Categories
Articles - Sinhala

වේදල්ල (පස්වන කොටස)

බුද්ධානුස්සති භාවනාව - විජ්ජාචරණ සම්පන්න ගුණය

අද අපි විජ්ජාචරණ සම්පන්න ගුණය භාවනා කරන විදිය ගැන ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අසා දැන ගනිමු. අවසරයි ස්වාමින් වහන්ස!

පිළිතුර : තෙරුවන් සරණයි! අද අපිට කතා කරන්න තියෙන්නෙ භාග්‍යවතුන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්න ගුණය ගැනයි. මේ පදයේ කෙටිම තේරුම “විද්‍යා හා චරණ ධර්මයන්ගෙන් යුක්ත උතුමන් වහන්සේ” කියන එකයි. එහෙමනම් අපි මේ විද්‍යාවන් හා චරණ ධර්ම කියන්නෙ මොනවද කියල දැනගනිමු.

          දීඝ නිකායෙ අම්බට්ඨ සූත්‍රයේදි විද්‍යාවන් අටක් (8) දක්වල තියෙනවා, එසේම මජ්ඣිම නිකායේ සේඛ සූත්‍රයේදී චරණ නාමයෙන් ධර්ම පසළොසක් (15) දක්වල තියෙනවා. සංයුක්ත නිකාය අටුවාවේ සනඞ්‌කුමාර සූත්‍ර වර්ණනා, විශුද්ධිමාර්ගය ආදීයෙහි මේ කරුණු තවත් පැහැදිළි කරල දක්වල තියෙනවා. ඒ නිසා මෙම අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණයන්ගෙන් යුක්ත නිසා භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරණසම්පන්නො කියල හඳුන්වනවා.

ප්‍රශ්ණය : මේ කරුණුත් පෙර ගුණ වලදි වගේම සජ්ඣායනයට සුදුසු විදියට අපට දේශනා කරන සේක්වා කියල අපි ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : හොඳයි, අපිට මේ අර්ථ මේ විදියට මෙනෙහි කරන්න පුළුවන්.

  1. සො භගවා විපස්සනාඤාණෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  2. සො භගවා මනොමයිද්ධිඤාණෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  3. සො භගවා ඉද්ධිවිධඤාණෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  4. සො භගවා දිබ්බසොතඤාණෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  5. සො භගවා පරචිත්තවිජානනඤාණෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  6. සො භගවා පුබ්බෙ නිවාසානුස්සතිඤාණෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  7. සො භගවා දිබ්බචක්ඛුඤාණෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  8. සො භගවා ආසවක්ඛයඤාණෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  9. සො භගවා පාතිමොක්ඛසංවරසීලෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  10. සො භගවා ඉන්ද්‍රියසංවරසීලෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  11. සො භගවා භොජනෙ මත්තඤ්ඤුතාය සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  12. සො භගවා ජාගරියානුයොගෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  13. සො භගවා සද්ධාය සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  14. සො භගවා හිරියා සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  15. සො භගවා ඔත්තප්පෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  16. සො භගවා බාහුසච්චෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  17. සො භගවා පරක්කමෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  18. සො භගවා සතියා සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  19. සො භගවා මතියා සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  20. සො භගවා පඨමජ්ඣානෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  21. සො භගවා දුතියජ්ඣානෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  22. සො භගවා තතියජ්ඣානෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.
  23. සො භගවා චතුත්ථජ්ඣානෙන සමන්නාගතත්තා ඉතිපි විජ්ජාචරණසම්පන්නො.

 

මේ කරුණු පාලියෙන් නොතේරෙනව නම් පහත විදියට ඒ අර්ථ සිංහලයෙන් භාවිතා කරන්න පුළුවන්. ඒ ඒ කරුණේ අර්ථය දැනගැනීම තමයි මෙතනදි වඩාත්ම වැදගත් වෙන්නෙ.

  1. ඒ භාග්‍යවතුන් වහන්සේ විදර්ශනා ඥානයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  2. ඒ භාග්‍යවතුන් වහන්සේ මනෝමයඍද්ධි ඥානයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  3. ඒ භාග්‍යවතුන් වහන්සේ සෘද්ධිවිධ ඥානයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  4. ඒ භාග්‍යවතුන් වහන්සේ දිව්‍යශ්‍රෝත ඥානයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  5. ඒ භාග්‍යවතුන් වහන්සේ පරචිත්ත විජානන ඥානයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  6. ඒ භාග්‍යවතුන් වහන්සේ පූර්වේනිවාසානුස්මෘති ඥානයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  7. ඒ භාග්‍යවතුන් වහන්සේ දිව්‍යචක්ෂු ඥානයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  8. ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රවක්ෂයකර ඥානයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  9. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  10. ඒ භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රිය සංවර ශීලයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  11. ඒ භාග්‍යවතුන් වහන්සේ භෝජනයෙහි පමණ දන්නා බවින් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  12. ඒ භාග්‍යවතුන් වහන්සේ ජාගරියානුයෝගයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  13. ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  14. ඒ භාග්‍යවතුන් වහන්සේ හිරි ගුණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  15. ඒ භාග්‍යවතුන් වහන්සේ ඔත්තප්ප ගුණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  16. ඒ භාග්‍යවතුන් වහන්සේ බහුශ්‍රැත භාවයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  17. ඒ භාග්‍යවතුන් වහන්සේ පරාක්‍රම වීර්යයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක
  18. ඒ භාග්‍යවතුන් වහන්සේ ස්මෘතියෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  19. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  20. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රථමධ්‍යානයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  21. ඒ භාග්‍යවතුන් වහන්සේ ද්වීතීය ධ්‍යානයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  22. ඒ භාග්‍යවතුන් වහන්සේ තෘතීය ධ්‍යානයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
  23. ඒ භාග්‍යවතුන් වහන්සේ චතුර්ථ ධ්‍යානයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

කියල මේ විදියට මෙනෙහි කරන්න පුළුවන්.

ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! මෙතනදි කියැවුණ ඒ ඒ වචනවල අර්ථයත් කෙටියෙන් සරලව පැහැදිලි කරදෙන සේක්වා.

පිළිතුර : ඔව් ඒ සමහර වචන ඇතැම් අයට නුහුරු වෙන්න පුළුවන්.

  1. සමාධි බලයෙන් සියලු සංස්කාර අනිත්‍යාදී වශයෙන් දකින බලවත් ඤාණය විදර්ශනා ඤාණයයි.
  2. තමන්ගේ රූපය හා සමාන තවත් රූප මැවීමේ හැකියාව මනෝමය ඍද්ධි ඤාණයයි.
  3. අහසින් යාම, පොළොවේ කිමිදීම ආදී විශේෂ දේ කිරීමේ හැකියාව ඍද්ධිවිධ ඤාණයයි.
  4. මිනිස් කනට අවිෂය වූ ඉතා සියුම් දිව්‍ය බ්‍රහ්ම ආදීන්ගේ ශබ්දාදිය ඇසීමේ නුවණ දිව්‍යශ්‍රෝත ඤාණයයි.
  5. අනුන්ගේ සිත් දැනගැනීමේ නුවණ පරචිත්ත විජානන ඤාණයයි.
  6. පෙර භවයන් සිහිකිරීමේ නුවණ පූර්වේ නිවාසානුස්මෘති ඤාණයයි.
  7. මිනිස් ඇසට අවිෂය වූ ඉතා සියුම් දිව්‍ය බ්‍රහ්ම ආදීන්ගේ රූපාදිය දැකීමේ නුවණ දිව්‍යචක්ෂු (දිවැස්) ඤාණයයි.
  8. සියලු කෙලෙස් නැසීමේ නුවණ ආශ්‍රව ක්ෂයකර ඤාණයයි.
  9. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නෙ බුදු රජාණන් වහන්සේ පැනවූ සිකපද මනාව රැකීම කියන එකයි.
  10. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ කෙලෙස් ඇති නොවන ලෙස ඉඳුරන් පැවැත්වීම කියන එකයි. ඇහින් රූප දැකල, කනින් ශබ්ද අහල … මේ විදියට ලෝභාදී කෙලෙස් ඇතිකරගන්නෙ නෑ කියන එකයි.
  11. භෝජනයෙහි පමණ දැනීම කියන්නෙ අවශ්‍ය පමණට ආහාර ගතයුතු බවයි. කුස පිරීමට අවශ්‍ය පමණට වඩා පිඬු හතරක් පහක් අඩුවෙන් වළඳල පැන් වළඳන්න කියල සැරියුත් මාහිමියන්ගේ ථේරගාථාවලත් දක්වල තියෙනවා. තමන්ට අවශ්‍ය පමණට පමණක් සිවුපසය සෙවීම, පිළිගැනීම හා පරිභෝගය කියන සියලු කරුණුත් මේ පදයටම ඇතුලත් බවත් විශුද්ධිමාර්ග ටීකාදී දහම් ග්‍රන්ථවල දක්වනව.
  12. ජාගරිය කියන්නෙ ශ්‍රමණධර්ම කිරීමයි. ඒ කියන්නෙ භාවනා මනසිකාරයයි. දවස කොටස් හයකට බෙදාගෙන එයින් එකක් පමණක් නිදාගැනීමට යොදාගෙන ඉතිරි මුළු කාලයම භාවනා මනසිකාරයේ යෙදීම කළ යුතුබව මජ්ඣිම නිකාය අටුවාවේ මහාඅස්‌සපුර සූත්‍රවර්ණනාව විශුද්ධිමාර්ග ටීකාව ආදී දහම් ග්‍රන්ථවල දක්වනවා.
  13. කරුණු දැනීමෙන් තෙරුවන් කෙරෙහි ඇතිවන පැහැදීම ශ්‍රද්ධාවයි.
  14. පවු කිරීමට ඇති ලැජ්ජාව හිරියයි.
  15. පවු කිරීමට ඇති බය ඔත්තප්පයයි.
  16. බොහෝ දහම් කරුණු අසා ඇතිබව බහුශ්‍රැතබවයි.
  17. කෙලෙස් තැවීමේ දැඩි වීර්යය පරාක්‍රමයයි.
  18. බොජ්ඣඞ්ග ධර්ම ඉපදවීමට තරම් බලවත් සිහිය සතියයි.
  19. කෙලෙස් ප්‍රහාණයට උපකාර වන ස්කන්ධයන්ගේ උදය-වය දැකීමට තරම් බලවත් නුවණ මතියයි (ප්‍රඥාවයි).
  20. – 23 බලවත් වූ ප්‍රථමධ්‍යානය ආදී ධ්‍යාන හතර ඉන්පසු කියැවෙනවා.

මේ අර්ථ හොඳින් දැනගෙන පෙර පදවලදි කළ ආකාරයට මේ භාවනාවත් හොඳින් හුරු කරගන්න හැම දෙනාටම හැකියාව ලැබේවා කියල අපි සෙත් ප්‍රාර්ථනා කරනවා.

to top