Categories
Articles - Sinhala

වේදල්ල (දෙවන කොටස)

භාවනාව ආරම්භ කරන්නේ කෙසේද?

පසුගිය සාකච්ඡාවේදී “භාවනාව කියන්නෙ මොකක්ද” කියන කාරණාව අපි පැහැදිලි කර ගත්තා. අද අපි “භාවනාව ආරම්භ කරන්නේ කොහොමද” කියන කාරණාව ගැන ගෞරවණීය ස්වාමින් වහන්සේගෙන් අසා දැන ගනිමු.

ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! අපි පසුගිය වතාවේදී “භාවනාව කියන්නෙ මොකක්ද” කියන කාරණාව ගැන සාකච්ඡා කළා. අද අපි “භාවනාව ආරම්භ කරන්නේ කොහොමද” කියල ගෞරවණීය ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි.

පිළිතුර : තෙරුවන් සරණයි! ඇත්තෙන්ම මේ භාවනාව කියන්නෙ ඉතාම සූක්‍ෂම ඒ වගේම ඉතාම සැලකිල්ලෙන් කළ යුතු ඉතාමත්ම වැදගත් කටයුත්තක්. මේ පිංවතුනුත් දන්නවනෙ සාමාන්‍ය ලෝකයේ උනත් කරන කටයුත්ත සියුම් වෙන තරමට ඒ සඳහා යෙදිය යුතු අවධානයත් වැඩි වෙන්න ඕන. නැත්නම් බලාපොරොත්තු වෙන ආකාරයේ ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ.

          එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේ ලෝකයේ තියෙන දුෂ්කරම දෙය තමයි මේ හිත හැදීම කියන කටයුත්ත. ඒ නිසානෙ බුදු රජාණන් වහන්සෙ ධම්මපදයෙත් දේශනා කරල තියෙන්නෙ “සුකරානි අසාධූනි, අත්‌තනො අහිතානි ච; යං වෙ හිතඤ්‌ච සාධුඤ්‌ච, තං වෙ පරමදුක්‌කරං.” කියල. ඒකෙ තේරුම “තමාව අපායට පමුණුවන අහිතවත් නරක කටයුතු කිරීම පහසුයි. තමාව සුගතියට – නිවනට පමුණුවන යහපත් දේ කිරීම හරියට පහළට ගලන ගඟක් ඉහළට හැරවීම වගේ පරම දුෂ්කර කටයුත්තක්” කියන එකයි. ඉතිං ඒ නිසා මේ භාවනාවත් ඉතාම සැලකිල්ලෙන් ඕනෑකමින් කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය පරිසරය හොඳින් සකස ගන්න ඕන. නැත්නම් අපි බලාපොරොත්තු වෙන තරම් ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ.

ප්‍රශ්ණය : ඒ භාවනා පරිසරය සකස් කරගන්න විදියත් අපට කෙටියෙන් පැහැදිලි කරදෙන සේක්වා කියල අපි ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : මේ පරිසරය අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි කියල බෙදන්න පුළුවන්. අභ්‍යන්තර පරිසරය සැකසීම කියන්නෙ භාවනාවට සුදුසු විදියට හිත සකස්කර ගැනීමයි. බාහිර පරිසරය සැකසීම කියන්නේ ඊට ගැලපෙන විදියට වටපිටාවක් හදාගැනීමයි.

          මේකෙදි අපි විශේෂයෙන්ම සලකන්න ඕන හිත වැඩෙන්නෙ එහෙම නැත්නම් දියුණු වෙන්නෙ මොන වගේ කාරණා නිසාද පිරිහෙන්නෙ මොන වගේ කාරණා නිසාද කියල. ඒ කරුණු අභ්‍යන්තරයෙත් තියෙනවා බාහිරත් තියෙනවා. බුද්ධ දේශනාවේ ඒ දේවල් ඉතා පැහැදිළිව දක්වලා තියෙනවා. ඒ කරුණු විශුද්ධිමාර්ගය වගේ පොත් වලත් බුද්ධ දේශනාවෙන් උපුටල අරන් පැහැදිලි කරල තියෙනවා. ඒවා සුදුසු පරිදි යොදා ගන්න අපි දක්ෂ වෙන්න ඕන.

ප්‍රශ්ණය : එතකොට ස්වාමින් වහන්ස “භාවනාවට සුදුසු බාහිර පරිසරයක්” සකස ගන්නෙ කොහොමද?

පිළිතුර : ඇත්තටම අපිට එතරම් හිතෙන්නෙ නෑ, මේ බාහිර දේවල් අපේ භාවනාවට බලපානව කියල. ඒ නිසාම අපි ඒ ගැන එතරම් සැලකිලිමත් වෙන්නෙ නෑ. නමුත් ඒ දේවල් ගැනත් අපි හොඳින්ම දැනගෙන ඉන්න ඕන. අපි ඉන්න කාමරය හා අවටත් තමන්ගේ ශරීරයත් පිරිසිදුව තියාගන්න ඕන. සිදුකරන කතාබහ, ඇසුරු කරන පිරිස, ගන්නා ආහාර, පවත්වන ඉරියව් ආදී කරුණු ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. යම් යම් දේවල් නිසා සිත විසිරෙනව ද කිලිටි වෙනව ද ඒ දේ වලින් වලකින්න අපි දක්ෂ වෙන්න ඕන. උදාහරණයක් විදියට යම් කෙනෙක් නිතරම ප්‍රයෝජනයක් නැති හිත කිලිටි වෙන දේවල් අපට කියනව නම් එවැනි අයව ඇසුරු නොකර ඉන්න ඕන.

තමන්ට සප්පාය එ් කියන්නෙ භාවනාවෙ දියුණුවට උපකාරක දේවල් හඳුනාගෙන ඒව භාවිතා කරන්න ඕන. මේ විදියට බාහිර පරිසරය ගැන අවබෝධය ඇතිකර ගන්න ඕන. මේ කරුණු බුදු රජාණන් වහන්සේ සබ්බාසව ආදී සූත්‍ර දේශනා වලදිත් දේශනා කළානෙ. එතනදි “කතමෙ ච, භික්‌ඛවෙ, ආසවා පරිවජ්‌ජනා පහාතබ්‌බා?” “පරිවර්ජනයෙන් (ඇසුරු නොකර බැහැරකිරීමෙන්) ක්‍ෂය කළ යුතු ආශ්‍රව මොනවාද?” කියන ප්‍රශ්ණය අහල, සිතේ දියුණුවට නුසුදුසු සේනාසන, ගොදුරුබිම් හා පුද්ගලයින්ව බැහැර කරන ලෙස දේශනා කළානෙ. මේ විදියට විවිධ සූත්‍ර දේශනා වලදි මෙවැනි කරුණු දේශනා කරල තියෙනව. මජ්ඣිම නිකායෙ මහාසුඤ්ඤත සූත්‍රාදියේදිත් අසප්පාය දෙතිස් කතා ආදියෙන් වළකින්න අවවාද කරල තියෙනවා. මේ සියල්ල කැටි කරල

‘‘ආවාසො ගොචරො භස්‌සං, පුග්‌ගලො අථ භොජනං;

උතු ඉරියාපථො චෙව, සප්‌පායො සෙවිතබ්‌බකො’’

කියල භාවනාවට සප්පාය වූ සේවනය කළ යුතු කරුණු හතක් දහමෙහි දක්වා තිබෙනවා. එනම් සප්පාය ආවාසය (කුටිය), පිණ්ඩපාතයේ හැසිරෙන ගොදුරුබිම, කතාව, ඇසුරු කරන පුද්ගලයින්, ආහාර, ඍතුව, ඉරියව්ව යන කරුණුයි. මේ මේ දේ හිතේ දියුණුවට උපකාරයි, මේ දේ බාධයි කියල අපි නුවණින් තේරුම් ගෙන කටයුතු කරන්න ඕන.

ප්‍රශ්ණය : භාවනාවට සුදුසු විදියට හිත සකස් කරගන්න කටයුතු කරන්න ඕන කොහොමද කියලත් අපි ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි.

පිළිතුර : තමන් කරන භාවනාවෙන් හොඳ ප්‍රතිඵල ලබන්න නම් මේ හිත හදන වැඩපිළිවෙල ගැන හොඳ අවබෝධයකින් ඒක කරන්න ඕන. මේ මේ කරුණු නිසා හිතේ යහපත් ගුණ වැඩෙනව, මේ මේ කරුණු නිසා හිතේ යහගුණ පිරිහෙනව කියන බව දැනගෙන කටයුතු කරන්න ඕන. මෙන්න මේ නිසා පැරණි උතුමන් වහන්සේල භාවනාව ආරම්භයට පෙර භාවනාවේ දියුණුවට ගැලපෙන විදියට හිත පිරිසිදු කරගැනීම සඳහා කළ යුතු කටයුතු කීපයක් දක්වල තියෙනව. ඒවට පූර්වකෘත්‍ය කියලත් හඳුන්වනව. විශේෂයෙන්ම ආධුනික අය මේ කටයුතු ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේ දේවල් සුළු දේවල් කියල හිතන්නෙ නැතිව බොහොම ගෞරවයෙන් පිළිපදිනව නම් තමන්ටම ඒකෙ වටිනාකම අත්දකින්න පුළුවන්. එසේ කලයුතු කටයුතු කීපයක් අපි මතක් කරන්නම්.

  1. සිල් සමාදානයත් (භික්ෂුවක් නම් ඇවැත් දෙසීමාදිය) තෙරුවන් වන්දනාදිය ගෞරවයෙන් සිදුකරන්න.
  2. තෙරුවනට හා සත්පුරුෂ උතුමන්ට යම් වරදක් සිදුවී ඇත්නම් එය කමාකර ගැනීම.

 “අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මගේ සිත – කය – වචනය කියන තුන් දොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ත්‍රිවිධ රත්නයට, පසේබුදු රජාණන් වහන්සේලාට, ආර්යන් වහන්සේලාට,  සත්පුරුෂ උතුමන්ට  යම් වරදක් සිදු වී ඇත්නම් පළමුවත් දෙවනුවත් තෙවනුවත් ඊට මට සමාව ලැබේවා!” යනාදී වශයෙන් සමාකර ගන්න ඕන. ඒක ආර්යෝපවාද ආදී අන්තරායක් තියෙනව නම් එයින් මිදෙන්නත්, මානාදී කෙලෙසුන් යටපත් වී සිත ශාන්ත බවට පත්වීමටත් හේතු වෙනව.

  1. ත්‍රිවිධ රත්නයට හා ගුරු උතුමන්ට ජීවිතය පූජා කිරීම

                   “මාගේ ජීවිතය ත්‍රිවිධ රත්නයටත් සියලු ගුරු උතුමන්ටත් පූජා කරමි, පූජා වේවා!” යනාදී වශයෙන් ජීවිතය පූජා කිරීමෙන් සිතේ ඇතිවන කෙලෙස් වලට පහසුවෙන් මුහුණ දියහැකි වෙනව. මේ කටයුත්තත් ඉතාම උවමනාවෙන් මුළු හිතින්ම කරන්න ඕන. හොඳ ප්‍රතිඵල ලබන්න ලැබෙන්නෙ එතකොටයි.

  1. පින්දීම

“අනන්ත සසරේ පටන් මේ මොහොත දක්වා මා කළ සියලු කුසල් සියලු දෙවියෝ ද සියලු සත්වයෝද අනුමෝදන් වෙත්වා!” යනාදී ලෙස පිං අනුමෝදන් කරන්න.

  1. පිං අනුමෝදන් වීම

“සියලු බුදු – පසේබුදු – මහරහත් උතුමන්ගේත් මහබෝසත් ආදී සියලු සත්පුරුෂ උතුමන්ගේත් දාන – සීල – භාවනාදී සියලු කුසල් මම ද අනුමෝදන් වෙමි.” යනාදී ලෙස පිං අනුමෝදන් වෙන්න. මෙයිනුත් තමාගේ මානාදී කෙලෙස් යටපත් වී සිත මෘදු කර්මන්‍ය බවට පත් වෙනව.

  1. තමාට අවවාද කරගැනීම

“ජරා – ව්‍යාධි – මරණ ආදී මහදුක් වලට අකමැති නම් හා ඒවායින් මිදීමට කැමති නම් භාවනාවේදී පැමිණෙන කුඩාදුක් ඉවසිය යුතු බවටත්, සියලු සැප අතර අග්‍ර නිවන් සැපය ලබනු කැමති නම් කුඩා සැප ගැන නොසලකා අඛණ්ඩව භාවනාව කළයුතු බවටත්” තමාට අවවාද කරමින් සිත ධෛර්යවත් කරගන්න.

  1. බුදුගුණ මෙනෙහි කිරීම

“මාගේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ සේක, සියලු කෙලෙස් සතුරන් නැතිකළ සේක, දුක් සහිත සංසාර චක්‍රයේ පැවැත්ම නැතිකළ සේක, සියලු පූජාවන් ලැබීමට සුදුසු වන සේක, රහසකින්වත් පවක් සිදු නොවන සේ පවු සිදුවීමේ හේතු නැසූ සේක. මෙසේ අරහං නම් වන සේක. අරහං ආදී අනන්ත ගුණයන්ගෙන් සමන්විත මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා!” මේ විදියට තමන්ට හොඳින්ම ශ්‍රද්ධාව පිහිටය ක්‍රමයකට සිහිකරන්න.

  1. මෙත් වැඩීම

“මම වෛර නොවෙමි. තරහ නොවෙමි. නිදුක් වෙමි. සුවපත් වෙමි. මා මෙන්ම සියලු සත්ත්වයෝ ද වෛර නොවෙත්වා. තරහ නොවෙත්වා. නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා.” කියල හොඳින් හිතයොදල කෙටියෙන් මෙත් වඩන්න.

  1. පිළිකුල (අසුභය) මෙනෙහි කිරීම

“බඹයක් පමණ වූ මාගේ මේ ශරීරය රන්රිදී මුතු මැණික් ආදී වටිනා දෙයකින් හෝ සඳුන් ආදී සුවඳ දේවලින් සෑදුණා වූ දෙයක් නොවේ. කෙස් ලොම් නිය දත් ආදී කුණපයන් ගෙන් සැදුනා වූ පිළිකුල් ශරීරයකි. පිළිකුල් ශරීරයකි.” මේ විදියට හිතට අසුභය දැනෙන ලෙසත් කය ගැන ඡන්දය දුරුවෙන ලෙසත් කෙටියෙන් මෙනෙහි කරන්න.

  1. මරණය සිහිකිරීම

“මාගේ ජීවිතය අනියත යි. මරණය නියතයි….”  යනාදී ලෙස තේරුම හිතට දැනෙන විදියට කීපවිටක් මෙනෙහි කරන්න.

          මේ කරුණු සියල්ල හොඳින් ඉටු කළාම භාවනාවට සුදුසු තත්වයට හිත පත්වෙනව. ඉන්පසු භාවනාව පහසුවෙන් කරගෙන යන්න පුළුවන්.

to top