Categories
Articles - Sinhala

වේදල්ල (16 වන කොටස)

අසුභ භාවනාව 1 කොටස - අසුභ භාවනාව හැඳින්වීම හා ආරම්භය

මේ දක්වා අපි බුද්ධානුස්සති භාවනාව සහ මෛත්‍රී භාවනාව වඩන ආකාරය විස්තර සහිතව දැන ගත්තා. මෙතැන් පටන් ඉදිරියට භාවනාව කළ යුතු ආකාරය අපට පැහැදිලි කර දෙන සේක්වා කියල අපි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : හොඳයි හැම දෙනාටම තෙරුවන් සරණයි. අපි ඊලගට අසුභ භාවනාව සිදු කරන විදිය ඉගෙන ගනිමු. අසුභ භාවනාව සවිඤ්ඤාණක අසුභය සහ අවිඤ්ඤාණක අසුභය කියල ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මේ සවිඤ්ඤාණක අසුභය කියල හඳුන්වන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කායගතාසතිය යටතේ පටික්කුලමනසිකාර පබ්බය (පිළිකුල් භාවනාව) විදියට දේශනා කළ භාවනාවයි. මෙයම ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී අසුභ සඤ්ඤාව විදියටත් දේශනා කර තිබෙනවා. එයටම ද්වත්තිංසාකාර භාවනාව කියලත් හඳුන්වනවා. අවිඤ්ඤාණක අසුභය කියන්නෙ මළ මිනියක් අරමුණු කරමින් කරන භාවනාවයි. මෙය විවිධ මළ මිනී වර්ග 10 ක් අනුව කොටස් 10කට බෙදා දක්වා තිබෙනවා. පටිසම්භිදාමග්ග පාලි, ධම්මසඞ්ගනී පකරණය, මිලින්ද ප්‍රශ්ණය වැනි ධර්ම ග්‍රන්ථවල මේ 10ම එක් තැනක දක්වා තිබෙනවා. 

ප්‍රශ්ණය : මේ අසුභ දෙවර්ගය බුද්ධ දේශනාවේ සඳහන් වෙන ආකාරයත් කෙටියෙන් පැහැදිලි කරදෙන මෙන් ස්වාමීන් වහන්සේගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : ඔව් මේ සවිඤ්ඤාණක අසුභය මහා සතිපට්ඨාන සූත්‍රයේ දක්වා තිබෙන්නේ මේ විදියටයි. 

“පුන චපරං, භික්‌ඛවෙ, භික්‌ඛු ඉමමෙව කායං උද්‌ධං පාදතලා අධො කෙසමත්‌ථකා තචපරියන්‌තං පූරං නානප්‌පකාරස්‌ස අසුචිනො පච්‌චවෙක්‌ඛති – ‘අත්‌ථි ඉමස්‌මිං කායෙ කෙසා ලොමා නඛා දන්‌තා තචො, මංසං න්‌හාරු අට්‌ඨි අට්‌ඨිමිඤ්‌ජං වක්‌කං, හදයං යකනං කිලොමකං පිහකං පප්‌ඵාසං, අන්‌තං අන්‌තගුණං උදරියං කරීසං, පිත්‌තං සෙම්‌හං පුබ්‌බො ලොහිතං සෙදො මෙදො, අස්‌සු වසා ඛෙළො සිඞ්‌ඝාණිකා ලසිකා මුත්‌ත’න්‌ති.” මේ පාඨය බොහෝ දෙනාට හුරු නිසා අර්ථය එකින් එක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මෙතැන ඇතැම් සූත්‍ර දේශනාවලදි “කරීසං” පදයෙන් පසුව “මත්ථලුඞ්ගං” පදය දක්වලා තියෙනවා. එසේ දක්වා නැති සූත්‍රවලදි ඒ පදය “අට්ඨිමිඤ්ජං” පදයේ ඇතුලත් කර අර්ථ ගන්න ඕන. ඒ බව “අත්‌ථි ඉමස්‌මිං කායෙ කෙසා ලොමා…පෙ.… මුත්‌තන්‌ති එවං මත්‌ථලුඞ්‌ගං අට්‌ඨිමිඤ්‌ජෙන සඞ්‌ගහෙත්‌වා පටික්‌කූලමනසිකාරවසෙන දෙසිතං ද්‌වත්‌තිංසාකාරකම්‌මට්‌ඨානං, ඉදමිධ කායගතාසතීති අධිප්‌පෙතං” යැයි ඛුද්දකපාඨ අටුවාව, විශුද්ධි මාර්ගය යන ග්‍රන්ථවල දක්වනවා. අපි භාවනාව සඳහා පුහුණු කරද්දි ඒ පදයත් ඇතුලත් වන විදියටයි පුහුණු කරන්නෙ.

දස අසුභයන් පටිසම්භිදාමග්ග පාලියේ දක්වා තිබෙන්නේ මේ විදියටයි. “දස සමාධී – උද්‌ධුමාතකසඤ්‌ඤාවසෙන චිත්‌තස්‌ස එකග්‌ගතා අවික්‌ඛෙපො සමාධි, විනීලකසඤ්‌ඤාවසෙන…පෙ.… විපුබ්‌බකසඤ්‌ඤාවසෙන… විච්‌ඡිද්‌දකසඤ්‌ඤාවසෙන… වික්‌ඛායිතකසඤ්‌ඤාවසෙන… වික්‌ඛිත්‌තකසඤ්‌ඤාවසෙන… හතවික්‌ඛිත්‌තකසඤ්‌ඤාවසෙන… ලොහිතකසඤ්‌ඤාවසෙන… පුළවකසඤ්‌ඤාවසෙන … අට්‌ඨිකසඤ්‌ඤාවසෙන චිත්‌තස්‌ස එකග්‌ගතා අවික්‌ඛෙපො සමාධි.” මේ දස අසුභයන් වඩන ආකාරය ගැන අපි පසුව දැන ගනිමු. මේ අවස්ථාවේ අපි සවිඤ්ඤාණක අසුභය වඩන ආකාරය ගැන මුලින් දැන ගනිමු.

ප්‍රශ්ණය : මේ අසුභ භාවනාව රාගය දුරුකර ගැනීමට උපකාරක බව කලින් ස්වාමීන් වහන්සේ සඳහන් කළා, ඒ ගැනත් මේ අසුභය වැඩීමේ ආනිසංසත් අපට මුලින්ම පැහැදිලි කර දෙන සේක්වා කියල අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : රාගය ප්‍රහාණය පිණිස මේ අසුභය වඩන ලෙස “‘‘තෙන ච පන, මෙඝිය, භික්‌ඛුනා ඉමෙසු පඤ්‌චසු ධම්‌මෙසු පතිට්‌ඨාය චත්‌තාරො ධම්‌මා උත්‌තරි භාවෙතබ්‌බා – අසුභා භාවෙතබ්‌බා රාගස්‌ස පහානාය, මෙත්‌තා භාවෙතබ්‌බා බ්‍යාපාදස්‌ස පහානාය, ආනාපානස්‌සති භාවෙතබ්‌බා විතක්‌කුපච්‌ඡෙදාය, අනිච්‌චසඤ්‌ඤා භාවෙතබ්‌බා අස්‌මිමානසමුග්‌ඝාතාය. අනිච්‌චසඤ්‌ඤිනො, මෙඝිය, අනත්‌තසඤ්‌ඤා සණ්‌ඨාති. අනත්‌තසඤ්‌ඤී අස්‌මිමානසමුග්‌ඝාතං පාපුණාති දිට්‌ඨෙව ධම්‌මෙ නිබ්‌බාන’’න්‌ති.” යනුවෙන් මේඝිය සූත්‍රයේදී දේශනා කළා.

ඒ වගේම “ඉමඤ්ච කායගතාසතිමනුයුත්තො භික්ඛු අරතිරතිසහො හොති, න ච නං අරති සහති, උප්පන්නං අරතිං අභිභුය්‍ය අභිභුය්‍ය විහරති. භයභෙරවසහො හොති, න ච නං භයභෙරවං සහති, උප්පන්නං භයභෙරවං අභිභුය්‍ය අභිභුය්‍ය විහරති. ඛමො හොති සීතස්ස උණ්හස්ස …පෙ… පාණහරානං අධිවාසකජාතිකො හොති. කෙසාදීනං වණ්ණභෙදං නිස්සාය චතුන්නං ඣානානං ලාභී හොති. ඡ අභිඤ්ඤා පටිවිජ්ඣති” 

(මේ කායගතාසති භාවනායෙහි යෙදෙන භික්‍ෂුව, අරති, රති මැඩ පවත්වන්න හැකි වෙනවා. ඒ අරති රතිවලට   ඒ භික්ෂුවව යටපත් කරන්නට, මැඩ ලන්නට නො හැකි වෙනවා. මෙතැනදි අරති කියන්නෙ අරණ්‍ය සේනාසනාදියෙහි නො ඇල්මයි. රති කියන්නෙ පංචකාමයෙහි ඇල්ම යි. ඒ භික්ෂුව උපනුපන් අරති-රති මැඩලමින් වාසය කරන්නට හැකි වෙනවා. ඊට අමතරව ඒ භික්ෂුවව භය හා බියජනක අරමුණු  ඉවසිය හැකි ඒ දේවල් මැඩ පැවැත්විය හැකි කෙනෙක් වෙනවා. ඒ  භය හා බියජනක අරමුණුවලට ඒ භික්ෂුවව යටපත් කරන්නට, මැඩ ලන්නට නො හැකි වෙනවා. උපනුපන් භය හා බියජනක අරමුණු  මැඩලමින් වාසය කරන්නට හැකි වෙනවා. පිළිකුල් භාවනාවෙන් ආත්ම සෙනෙහස අඩු වීම නිසා මේ හැකියාවන්, ගුණ ධර්ම චිත්ත සන්තානයේ ගොඩ නැගෙනවා. ඒ නිසාම   සීතල, උණුසුම, මැසි මදුරු පීඩාදියත් පහසුවෙන් ඉවසන්න පුලුවන් වෙනවා. කෙස් ආදියේ වර්ණ සලකමින් භාවනා කිරීමෙන් කසින සමාධි උපදවන්නට  හැකි වෙනවා. එයින් ම ෂට් අභිඥා ප්‍ර‍තිවේධ කරන්නත් පුලුවන් වෙනවා.) 

මේ විදියට මේ සවිඤ්ඤාණක අසුභයේ එහෙම නැත්නම් මේ ද්වත්තිංසාකාර පිලිකුල් භාවනාවේ  ආනිශංස විශුද්ධි මාර්ගය වගේ ධර්ම ග්‍රන්ථවල විස්තර සහිතව දක්වලා තියෙනවා. 

ප්‍රශ්ණය : මේ ද්වත්තිංසාකාර භාවනාව ප්‍රගුණ කරද්දි විශේෂයෙන් පිලිපැදිය යුතු උපදෙස් තියෙනව ද ස්වාමින් වහන්ස?

පිළිතුර : ඔව් මේ භාවනාවට සම්බන්ධව දැනගත යුතු, පිලිපැදිය යුතු කරුණු රාශියක් විභඞ්ග අටුවාව, විශුද්ධිමාර්ගය වගේ දහම් ග්‍රන්ථවල බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ කරුණු ඒ විදියට පිලිපදිනව නම් නුවණැති යෝගාවචරයෙකුට පහසුවෙන් ප්‍රතිඵල ලබන්න පුලුවන්.

ප්‍රශ්ණය : ඒ උපදෙස් අතරින් වැදගත්ම අත්‍යාවශ්‍ය උපදෙස් කෙටියෙන් හෝ පැහැදිලි කර දෙන සේක්වා  කියල ස්වාමින් වහන්සෙගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : මේ උපදෙස් අතරින් එක් උපදෙසක් තමයි අපි මේ දෙතිස් කොටස් මෙනෙහි කරද්දි තමන්ගෙ ජීවමාන ශරීරයේ කොටස් තමයි මෙනෙහි කරන්න ඕන. එහෙම නැත්නම් ධ්‍යාන මට්ටමේ සමාධි ලැබෙන්නෙ නැති බව දක්වලා තියෙනවා. “එත්‌ථ පන අත්‌තනො ජීවමානකසරීරෙ ‘පටිකූල’න්‌ති පරිකම්‌මං කරොන්‌තස්‌ස අප්‌පනාපි උපචාරම්‌පි ජායති. පරස්‌ස ජීවමානකසරීරෙ ‘පටිකූල’න්‌ති මනසිකරොන්‌තස්‌ස නෙව අප්‌පනා ජායති, න උපචාරං.” තමන්ගේ ජීවමානක ශරීරයේ පිලිකුල් භාවනාව වඩන යෝගියාට උපචාර සහ අර්පනා යන ධ්‍යාන වර්ග දෙකම උපදින බවත් අනුන්ගේ ජීවමානක ශරීරයේ පිලිකුල් භාවනාව වඩන යෝගියාට ඒ ධ්‍යාන එක් වර්ගයක්වත් නූපදින බවත් මෙහිදී දක්වලා තියෙනවා.

මීට අමතරව මේ භාවනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වන යෝගාවචරයා මේ සම්බන්ධව හොඳින් කරුණු පැහැදිලි කරදිය හැකි සත්පුරුෂ ගුරුවරයෙක් සමීපයේ මේ භාවනාව ප්‍රගුණ කරන විදිය ඉගෙන ගන්න ඕන. එහිදී 7 ආකාරයක උග්ගහ (ඉගෙනීම) කෞෂල්‍යයන් සහ 10 ආකාරයක මනසිකාර කෞෂල්‍යයන් ඉගෙන ගතයුතු බව දක්වලා තියෙනවා. ඒ බව “ඉමං පන කම්මට්ඨානං භාවෙතුකාමෙන ආදිකම්මිකෙන කුලපුත්තෙන වුත්තප්පකාරං කල්‍යාණමිත්තං උපසඞ්කමිත්වා ඉදං කම්මට්ඨානං ගහෙතබ්බං. තෙනාපිස්ස කම්මට්ඨානං කථෙන්තෙන සත්තධා උග්ගහකොසල්ලං දසධා ච මනසිකාරකොසල්ලං ආචික්ඛිතබ්බං. තත්ථ වචසා මනසා වණ්ණතො සණ්ඨානතො දිසතො ඔකාසතො පරිච්ඡෙදතොති එවං සත්තධා උග්ගහකොසල්ලං ආචික්ඛිතබ්බං.” යනුවෙන් විශුද්ධිමාර්ගයේ දක්වා තිබෙනවා. මේ එකිනෙක කරුණු පැහැදිලිව දැනගන්න ඕන. මේ සම්බන්ධව කරුණු විස්තර ඇතිව අපි මීලඟ සාකච්ඡාවෙදි දැනගනිමු. 

සියලුම දෙනාට මෙම පටික්කූල මනසිකාර භාවනාව නිවන දක්වාම පුරුදු කරන්නට හැකියාව ලැබේවා, සියලුම ලෝක සත්වයා සියලු රාගාදී පීඩාවන්ගෙන් මිදී සුඛී සුවපත් බවට පත් වේවා කියල අපි මෛත්‍රියෙන් ආශිර්වාද ප්‍රාර්ථනා පවත්වනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.