Categories
Articles - Sinhala

මහාකස්සපත්ථේර බොජ්ඣංගය

ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! මේ උතුම් වෙසක් පොහොය දිනය වෙනුවෙන් අද අපිට මහාකස්සපත්ථෙර බොජ්ඣඞ්ග සූත්‍රය ගැන කරුණු ටිකක් පැහැදිලි කරදෙන සේක්වා කියල ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මුලින්ම අපි දැනගන්න කැමතියි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නෙ ත්‍රිපිටකයෙ කොතැනද කියල.

පිළිතුර : හොඳයි තෙරුවන් සරණයි! මේ මහාකස්සපත්ථෙර බොජ්ඣඞ්ග සූත්‍රය කියල පිරිත් පොත්වල තියෙන සූත්‍ර දේශනාව සිංහල පෙළ පොත්වල දක්වල තියෙන්නෙ ගිලාන සූත්‍රය කියල. ඒ දේශනාව සංයුක්ත නිකායෙ මහාවග්ගයෙ බොජ්ඣඞ්ග සංයුක්තයේ ගිලාන වග්ගයේ හතරවැනි සූත්‍රය විදියට දක්වල තියෙනවා.

 

ප්‍රශ්ණය : එතකොට ස්වාමින් වහන්ස! මේ සූත්‍ර දේශනාව කරන්න හේතු උන සිදුවීමත් කෙටියෙන් දක්වන සේක්වා!

පිළිතුර : මේ සිදුවීම වෙන අවස්ථාවෙ භාග්‍යවතුන් වහන්සෙ වැඩ හිටියෙ කලන්දකනිවාප කියල හඳුන්වපු වේළුවනාරාමයේ. ඒ උයන වටේ උණගස් තිබුණ නිසා “වෙළුවන” කියලත්, එතන ලේනුන්ට අභයභූමියක් විදියට නම් කරල තිබුණ නිසා “කලන්දකනිවාප” කියලත් හැඳින්නුව කියල අටුවාවෙ විස්තර කරනවා.

මේ කාලෙ මහාකාෂ්‍යප මහරහතන් වහන්සෙ  රජගහනුවර ඇසුරු කරගෙන පිප්පලිගුහාව කියල හඳුන්වන ලෙණක තමයි වැඩ සිටියෙ. මේ කාලෙ ඒ පර්වත ප්‍රදේශයේ තිබුණ ගසක පිපුණ විස සහිත මල් වර්ගයක් නිසා මහාකාෂ්‍යප මහරහතන් වහන්සෙට උණ රෝගයක් හටගත්ත. භාග්‍යවතුන් වහන්සෙ එක් සවස් කාලයක ඵල සමාපත්තියෙන් නැගී සිටල මහාකාෂ්‍යප මහරහතන් වහන්සෙ වැඩසිටි තැනට වැඩම කළා. ඉන් පස්සෙ  භාග්‍යවතුන් වහන්සෙ පනවා තිබූ ආසනයෙ වැඩ හිඳගෙන මහාකාෂ්‍යප මහරහතන් වහන්සෙගෙන් සුවදුක් විචාල. මේ වෙලාවෙදි තමන් වහන්සෙ අසනීපයෙන් වැඩ සිටින බවත් වේදනාදිය වැඩිවෙමින් තියෙන බවත් මහාකාෂ්‍යප මහරහතන් වහන්සෙ භාග්‍යවතුන් වහන්සෙට මතක් කළා.

          ඉන් පස්සෙ භාග්‍යවතුන් වහන්සෙ බොජ්ඣඞ්ග ධර්ම හත තමන් වහන්සෙ අවබෝධ කළ බවත්, ඒවා දේශනා කළ බවත් ඒවා නිවන පිණිස පවතින බවත් දේශනා කළා. දේශනාව අවසානයේදී මහාකාෂ්‍යප මහරහතන් වහන්සෙ මේ බොජ්ඣඞ්ග ධර්ම දේශනාව සතුටින් අනුමෝදන් වෙනවා. ඒ සමගම ස්වාමින් වහන්සේට පැවතුණ උණ රෝගයත් සුව උනා. මෙන්න මේ සිදුවීම මුල් කරගෙනයි මේ සූත්‍රය දේශනා කරන්නෙ.

 

ප්‍රශ්ණය : මේ සූත්‍රයේ තේරුමත් කෙටියෙන් දක්වන සේක්වා!

පිළිතුර : ගොඩක් පොත්වල තේරුම දක්වල තියෙන නිසා මේ සූත්‍රයේ නිදාන කතාවට අදාල කොටස අත්හැරල අපි ඉතිරි කොටසෙ තේරුම විතරක් දක්වන්නම්. මුල් කොටසේ දක්වල තියෙන කොටස අපි කෙටියෙන් මතක් කළා. ඉතිරි කොටසෙ තේරුම මේ විදියයි.

‘‘සත්‌තිමෙ, කස්‌සප, බොජ්‌ඣඞ්‌ගා මයා සම්‌මදක්‌ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්‌ඤාය සම්‌බොධාය නිබ්‌බානාය සංවත්‌තන්‌ති. කතමෙ සත්‌ත? සතිසම්‌බොජ්‌ඣඞ්‌ගො ඛො, කස්‌සප, මයා සම්‌මදක්‌ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්‌ඤාය සම්‌බොධාය නිබ්‌බානාය සංවත්‌තති. ධම්‌මවිචයසම්‌බොජ්‌ඣඞ්‌ගො ….පෙ.… වීරියසම්‌බොජ්‌ඣඞ්‌ගො ….පෙ.… පීතිසම්‌බොජ්‌ඣඞ්‌ගො ….පෙ.… පස්‌සද්‌ධිසම්‌බොජ්‌ඣඞ්‌ගො ….පෙ.… සමාධිසම්‌බොජ්‌ඣඞ්‌ගො  ….පෙ.… උපෙක්‌ඛාසම්‌බොජ්‌ඣඞ්‌ගො ඛො, කස්‌සප, මයා සම්‌මදක්‌ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්‌ඤාය සම්‌බොධාය නිබ්‌බානාය සංවත්‌තති. ඉමෙ ඛො, කස්‌සප, සත්‌ත බොජ්‌ඣඞ්‌ගා මයා සම්‌මදක්‌ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්‌ඤාය සම්‌බොධාය නිබ්‌බානාය සංවත්‌තන්‌තී’’ති. ‘‘තග්‌ඝ, භගවා, බොජ්‌ඣඞ්‌ගා; තග්‌ඝ, සුගත, බොජ්‌ඣඞ්‌ගා’’ති.

“කාෂ්‍යපයෙනි, මා විසින් මනාව ප්‍රකාශකරන ලද, වඩනලද, බහුල වශයෙන් කරනලද, මේ සත්වැදෑරුම් බොජ්ඣඞ්ග ධර්මයෝ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්. ඒ සප්ත බොජ්ඣඞ්ග කවරහුදයත්? කාෂ්‍යපයෙනි, මා විසින් මනාව කියනලද, වඩනලද, බහුල කරනලද සති සම්බොජ්ඣංගය චතුරාර්ය සත්‍ය දැනගැනීම පිණිසද, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසද, නිවන් පිණිසද, පවතියි. කාශ්‍යපය, මා විසින් මනාව කියන ලද, ධර්මවිචය සම්බොජ්ඣංගය ….පෙ.…  විරිය සම්බොජ්ඣංගය ….පෙ.… පීති සම්බොජ්ඣංගය, ….පෙ.… පස්සද්ධි සම්බොජ්ඣංගය ….පෙ.… සමාධි සම්බොජ්ඣංගය ….පෙ.… උපෙක්ඛා සම්බොජ්ඣංගය, චතුරාර්ය සත්‍ය දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. කාෂ්‍යපයෙනි, මේ මා විසින් මනාව කියනලද, වඩනලද, බහුල කරනලද සප්ත බොජ්ඣඞ්ග ධර්මයෝ චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද, පවතිත් යයි” (වදාළසේක). “භාග්‍යවතුන් වහන්ස, බොජ්ඣඞ්ග ධර්මයෝ මැනව, සුගතයන් වහන්ස, බොජ්ඣඞ්ග ධර්මයෝ ඒකාන්තයෙන් මැනවැයි’ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ දැන්වූ සේක.

ඉදමවොච භගවා. අත්‌තමනො ආයස්‌මා මහාකස්‌සපො භගවතො භාසිතං අභිනන්‌දි. වුට්‌ඨාහි චායස්‌මා මහාකස්‌සපො තම්‌හා ආබාධා. තථාපහීනො චායස්‌මතො මහාකස්‌සපස්‌ස සො ආබාධො අහොසීති.

භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළසේක. සතුටුවූ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුවූහ. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඒ රෝගයෙන් නැගීසිටි සේක. ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ඒ ආබාධය (යම්සේ නූපදීද) එසේ පහව ගියේය.

මේ විදියට මේ සූත්‍රයේ තේරුම දක්වන්න පුළුවන්.

 

ප්‍රශ්ණය : එතකොට ස්වාමින් වහන්ස මෙතන මේ කියැවෙන බොජ්ඣඞ්ග ධර්ම කියන්නෙ මොනවද?

පිළිතුර : මේ “බොජ්ඣඞ්ග” කියන පදය සංයුත්ත නිකායෙ භික්ඛුසූත්‍රය හා බොධායසූත්‍රය ආදී සූත්‍ර දේශනාවල මේ විදියට විස්තර කරනවා. මෙතැනදි එක්තරා භික්ෂුවක් ඇසූ ප්‍රශ්ණයකට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ මෙහෙමයි ‘‘‘බොජ්‌ඣඞ්‌ගා, බොජ්‌ඣඞ්‌ගා’ති, භන්‌තෙ, වුච්‌චන්‌ති. කිත්‌තාවතා නු ඛො, භන්‌තෙ, ‘බොජ්‌ඣඞ්‌ගා’ති වුච්‌චන්‌තී’’ති? ‘‘‘බොධාය සංවත්‌තන්‌තී’ති ඛො, භික්‌ඛු, තස්‌මා බොජ්‌ඣඞ්‌ගාති වුච්‌චන්‌ති. (“ස්වාමීනි! ‘බොජ්ඣඞ්ග, බොජ්ඣඞ්ග’ කියල කියනු ලබනවා, ස්වාමීනි! කොපමණකින් ‘බොජ්ඣඞ්ග’ කියල කියනු ලබනවාද?” “භික්‍ෂුව! අවබෝධය පිණිස පවතිත්නුයි ‘බොජ්ඣඞ්ග’ කියල කියනු ලබත්”) යනුවෙන් පිළිතුරු ලැබෙනවා.

මේ පදය අටුවාවෙ තවත් හොඳින් මේ විදියට පැහැදිළි කරනවා “බොජ්‌ඣඞ්‌ගෙති එත්‌ථ බොධියා, බොධිස්‌ස වා අඞ්‌ගාති බොජ්‌ඣඞ්‌ගා.” “බෝධියේ අඞ්ග හෝ බෝධිය පිණිස පවතින අඞ්ග යන අර්ථයෙන් බොජ්ඣඞ්ග නම් වේ” කියල. ඒ අනුව නිවන් අවබෝධය ලැබීම පිණිස පවතින ඊට උපකාරක “සති, ධම්මවිචය ආදී” ධර්ම හතේ සමූහයට අයත් අංගයක් කියන අර්ථයෙන් “බෝධි + අඞ්ග” කියන පද දෙක එකතු වෙලා “බොජ්ඣඞ්ග” කියන පදේ හැදෙනවා. ඒ වගේම මේ ධර්ම නිවනට බොහොම උපකාරක ධර්මයි.

 

ප්‍රශ්ණය : මේ එකිනෙක බොජ්ඣඞ්ගයක තේරුමත් කෙටියෙන් පැහැදිලි කරදෙන සේක්වා!

පිළිතුර : මෙතන “සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා” කියල ධර්ම හතක් තියෙනවා. ඒ අතුරින් සති කියන්නෙ නිවන් අවබෝධයට උපකාරවන සතිපට්ඨානයන්ගෙන් කියැවෙන සිහියයි. ධම්මවිචය කියන්නෙ ස්කන්ධාදීන්ගේ අනිත්‍යාදී සැබෑ තත්වය වටහා දෙන ගැඹුරු නුවණයි. සම්‍යක් ප්‍රධාන වශයෙන් දැක්වෙන නිවනට උපකාරක වීර්යය විරිය සම්බොජ්ඣංගයයි. ඒ සිත පිනවන ස්වභාවය පීති සම්බොජ්ඣංගයයි. සිතේ ඇති වෙහෙස තැවිල්ල සංසිඳවන ධර්මය පස්සද්ධියයි. සිතේ එකඟබව සමාධියයි. චිත්තසන්තානය අලස වීමට නොදී පවත්වන තත්‍රමජ්ඣත්තතා චෛතසිකය උපෙක්ඛා සම්බොජ්ඣංගයයි. මේ ගැන වැඩි විස්තර රේරුකානේ මාහිමියන්ගේ බෝධිපාක්ෂික ධර්ම විස්තරය පොතෙන් දැනගන්න පුළුවන්.

 

ප්‍රශ්ණය : මේ ධර්ම දේශනා කරද්දි අසනීපය සුවවෙන්න හේතුව මොකක්ද ස්වාමින් වහන්ස?

පිළිතුර : ඒ හේතුව මේ සූත්‍රයේ අටුවාවෙ හොඳින් පැහැදිලි කරල තියෙනවා. මේ දේශනාව හොඳින් අහද්දි මහාකාෂ්‍යප මහරහතන් වහන්සේට “මම පැවිදි වෙලා හත්වැනි දිනයෙහි උතුම් අර්හත්වය ලැබූ මට මේ ධර්ම හත පහළ උනා නේද, අහෝ මේ සාසනය නම් ඒකාන්තයෙන් නිවනට පමුණුවන සාසනයක්මයි” කියල මෙහෙම හිතෙනවා. ඒ සමගම ලේ ධාතුවත්, හදයවස්තුවත් පිරිසිදු වෙනවා. කිපී තිබුණ ධාතු සන්සිඳෙනවා. ඒ හේතුවෙන් රෝගය හරියට නෙලුම් කොළයකට වැටුණු වතුර බින්දුවක් වගේ, ශරීරයේ නොරැඳී සන්සිඳුන බව කියැවෙනවා.

 

ප්‍රශ්ණය : මේ දේශනාව ඇසුරින් සමාජයට ලබාදෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද ස්වාමින් වහන්ස?

පිළිතුර : සිත, හදයවස්තුව හා ලේ ධාතුව පිරිසිදු වීමෙන් රෝග සන්සිඳෙන බව මෙතනදි කියැවුණා. ඒ නිසා අපිත් නිතර කුසල් සිත් පවත්වනව නම් ඒක මෙළොව නිරෝගී බවටත්, පරලොව යහපතටත්, නිවන් අවබෝධයටත් උපකාරී වෙනවා. කෙනෙකුගේ සිත සතුටින් සැහැල්ලුවෙන් තියෙනව නම් ඒ ජීවිතය බොහොම වාසනාවන්තයි. ඒ නිසා අපිත් පිරිත් හා සූත්‍ර දේශනා අහද්දිත් තේරුමට හිත යොමුකරගෙන කුසල් හිත පවත්වන්න උනන්දු වෙන්න ඕන. වෙනත් කටයුතු කරද්දිත් කුසල් හිත පවත්වන්න ඕන. කුසල් සිත කියන්නෙ කෙලෙස් කියන රෝගයන්ගෙන් තොර නිරෝගී හිතක්. සිත නිරෝගී වීම කයේ නිරෝගී බවටත් ප්‍රධානම හේතුවක්. ඒ නිසා හැම දෙනාටම නිරන්තරවම කුසල් සිත් දියුණු කරමින් සිතත් කයත් නිරෝගීව පවත්වමින් ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්නත් හැම පහසු විරණයක්ම සැලසේවා කියල අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා.