Categories
Articles - Sinhala

පාළි උච්චාරණය ගිහි අයගේ සරණගමනයට බලපාන අයුරු

පාළි උච්චාරණය ගිහි අයගේ සරණගමනයට බලපාන අයුරු

ප්‍රශ්ණය: නිවැරදිව උච්චාරණය නොකළොත් ගිහි අයගේ සරණගමනය අසිද්ධ වෙනවා ද?

පිළිතුර: ඇත්තෙන්ම සරණාගමන කුසලය සඳහා ප්‍රධාන වෙන්නෙ සරණ යාමේ චේතනාවෙන් යුක්ත සිතක පහළ වීමයි. එබැවින්ම “ තප්පසාදතග්ගරුතාහි විහතකිලෙසො තප්පරායණතාකාරප්පවත්තො චිත්තුප්පාදො සරණගමනං ” (ත්‍රිවිධරත්නය කෙරෙහි ප්‍රසාදගරුකත්වය කරණකොට ගෙන කෙලෙසුන්ගෙන් තොර වූ ‘තෙරුවන් යනු නිවන් අවබෝධයට ඇති එකම සරණයි, පිහිටයි” යන ආකාරයෙන් පවතින්නා වූ චිත්තෝත්පාදය සරණගමණයයි) කියල දහමෙ හඳුන්වනවා.  

ගිහි අයගේ සරණගමනය වචනයෙන්ම සිදුවිය යුතු යැයි දක්වා නැත. ක්‍රම හතරකින් සරණගමනය සිදුවන බව දීඝනිකායේ සාමඤ්ඤඵල සූත්‍ර අටුවාවේ සරණගමනකථා යටතේ ඉතා පැහැදිලිව දක්වා ඇත. එහි “ තයිදං චතුධා වත්‌තති – අත්‌තසන්‌නිය්‍යාතනෙන , තප්‌පරායණතාය, සිස්‌සභාවූපගමනෙන, පණිපාතෙනාති.” (ඒ සරණගමනය 1 ආත්මය තෙරුවන්ට පැවරීම, 2 තෙරුවන් තමන්ට එකම පිහිට කොට සැලකීම, 3 තමන් තෙරුවනෙහි ශිෂ්‍යයෙක් බවට පත්වීම, 4 තෙරුවන් සරණ යාමේ අදහසින් වැඳීම – ඇඟිලිබැඳීම ආදිය සිදු කිරීම යැයි හතරාකාරයකින් පවතී.) ( https://tipitaka.app/?a=fa2-352-si) යැයි මේ කරුණු දක්වා ඇත.

මෙහි හතරවන ක්‍රමය සඳහා වචන භාවිතය අවශ්‍ය නොවන බව ඉතාම පැහැදිලිය. ඒ බව “ ප්‍රණිපාතය යනු – ‘අද පටන් මම වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඟිලි බැඳීම, සාමීචිකර්ම කිරීම යනාදිය බුද්ධාදී තෙරුවනටම සිදුකරමි’ යනුවෙන් මාව දරාගනු මැනව යන අදහසින් තෙරුවන් කෙරෙහි දක්වන පරම යටහත් පහත් ආකාරයයි.” යැයි අටුවාවේම තවත් පැහැදිලි කර ඇත. එබැවින්ම “ යො පන ‘‘අයං ලොකෙ අග්‌ගදක්‌ඛිණෙය්‍යො’’ති වන්‌දති , තෙනෙව ගහිතං හොති සරණං.” (යමෙක් වනාහි “මේ බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි අග්‍ර දක්ෂිණාර්හ වන සේක – සියළු පූජාවන්ට සුදුසු වන සේක” යන අදහසින් වඳින්නේ නම්, ඔහු විසින් සරණ ගන්නා ලද්දේ වෙයි.) යැයි ද අටුවාවේම දක්වා ඇත.

මේ සම්බන්ධ තවත් පැහැදිලි කිරීම් ඊට අදාල ටීකාවන්හිද පැහැදිලිව දක්වා ඇත. එහි “ සරණගමනාධිප්‌පායෙනෙව පණිපතති එතෙනාති පණිපාතො , පණිපතනඤ්‌චෙත්‌ථ අභිවාදනපච්‌චුට්‌ඨානඅඤ්‌ජලිකම්‌මසාමීචිකම්‌මමෙව, සබ්‌බත්‌ථ ච අත්‌ථතො යථාවුත්‌තදිට්‌ඨිජුකම්‌මමෙව වෙදිතබ්‌බං” (මේ ක්‍රියාව කරණකොට ගෙන සරණගමන අදහසින්ම වන්දනාදිය කරන්නේනුයි මේ ක්‍රියාව ප්‍රණිපාත නම් වේ. මෙහිදී වැඳීම – දැක හුනස්නෙන් නැගිටීම – ඇඟිලි බැඳීම – සාමීචිකර්ම කිරීමම ප්‍රණිපතනය නම් වේ. සියළු තැන්හි අර්ථ වශයෙන් කියනලද ආකාර ඇති “දිට්ඨිජුකම්ම” පුණ්‍යක්‍රියාවම සරණගමනය යැයි දතයුතුය.) යැයි මෙය විස්තර කොට ඇත. එබැවින් ගිහි අයගේ සරණාගමන කුසලය සඳහා උච්චාරණය බලපාන්නේ නැති බව ඉතාම පැහැදිලිය.

නමුත් සාමණේර පැවිද්ද සඳහා සරණගමනය සිදු කිරීමේදී උච්චාරණය බලපාන බව පැහැදිලිව විනය පිටකයේ මහාවග්ගපාලි මහාඛන්ධකයේ අටුවාවේ දක්වා ඇත. එය විනයකර්මයක් බැවින් එතැනදී ඒ අයුරින් කටයුතු කළ යුතුය. ගිහි අයට සරණ දීම විනයකර්මයක් නොවන බැවින් එවැනි යෙදීමක් මෙතැනට අදාල නැත. එසේ නොවුවහොත් උපතින්ම ගොළු කෙනෙකුන්ට සරණගමන මාත්‍රයක්වත් කළ නොහැකි වනු ඇත.

කරුණු මෙසේ හෙයින් ගිහි අයගේ සරණාගමනය කැඩීමට චේතනාව ප්‍රධාන වන්නාක් මෙන්ම සරණගමනයටත් චේතනාවම ප්‍රධාන වේ. සරණයාමේ අදහසින් බාහිර ශ්‍රමණයින් වැඳීමෙන් සරණගමනය බිඳෙනවා සේම, සරණයාමේ අදහසින් බුදුරජුන් වැඳීමෙන් බුදුසරණ යාම සිදු වන්නේය. මේ සම්බන්ධව දැනගත යුතු තව බොහෝ කරුණු සාමඤ්ඤඵලසූත්‍ර අටුවාවේ ඇති බැවින් විස්තර කැමැත්තෝ එතැනින් බලාගනිත්වා. මෙවැනි කරුණු පිළිබඳ වාද විවාද නොකර නිවැරදි දහම් කරුණු ව්‍යක්ත විශාරද ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් විමසා සැකහැර දැනගත යුතුය.  පිරිසට ඇතිවන විමති සැක දුරුකිරීමේ අදහසින් මෙම සටහන තැබුවෙමු. අපගේ මේ කුසලයත් සෑම දෙනාටම නොපමාව පිලිවෙත්හි යෙදී මේ දහම අවබෝධය පිණිසම හේතු වේවා යන මෛත්‍රී පූර්වාංගම ප්‍රාර්ථනාවද සිදු කරමු.

to top