Categories
Articles - Sinhala

නිර්වාන මාර්ගය (පළමු කොටස)

භාවනාව යනු කුමක්දැයි හඳුනාගනිමු

ප්‍රශ්ණය : අවසරයි ස්වාමින් වහන්ස! මුලින්ම බුදු දහම කියන්නෙ කුමක් ද, කියන කාරණය කෙටියෙන් අපට පැහැදිලි කර දෙන මෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : තෙරුවන් සරණයි! මේ ලෝකයේ සත්වයෝ ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම, කැමති දේ නොලැබීම, දඬුවම් – වධහිංසා – නින්දා ආදී විවිධ අකමැති දේ ලැබීම වැනි බොහෝ දුක් වලට භාජනය වෙනව. මේවායින් ගැලවෙන්න විවිධ උපක්‍රම කළත් ඒ දුක් ලැබීම අවසන් වෙන්නෙ නෑ. මෙන්න මේ කියන සියලු දුක් ගැනත්, ඒවා ඇතිවීමේ හේතුත්, ඒ දුක් වලින් තොර ස්වභාවයත්, ඒ දුකින් මිදීමේ මාර්ගයත් අවබෝධ කරගෙන ලෝක සත්වයන්ට පහදා දීමට ඉතා කලාතුරකින් ලෝකයට පහළ වන අති ශ්‍රේෂ්ඨම උතුමන් වහන්සේ තමයි ලොවුතුරා බුදු රජාණන් වහන්සේ කියල කියන්නෙ. “බුද්‌ධෝ සෝ භගවා බෝධාය ධම්‌මං දේසේති …….” යනාදී වශයෙන් බුද්ධ දේශනාවෙ මේ ගැන සඳහන් වෙනව. අන්න ඒ බුදු රජාණන් වහන්සේ අවබෝධ කළ ඒ වගේම දේශනා කළ “දුකින් මිදීමේ පිලිවෙත” තමයි බුදු දහම කියන්නෙ.

ප්‍රශ්ණය : එතකොට ස්වාමින් වහන්ස බෞද්ධයා කියල කියන්නෙ කාටද කියන කාරණයත් අපි දැනගන්න කැමතියි.

පිළිතුර :  ඇත්තටම මේ බෞද්ධයා කියන වචනය මේ ජාතියට අයිතියි, මේ රටට අයිතියි කියල වර්ග කරන්න බෑ. යම් කෙනෙක් බුදු රජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නව නම්, එතුමන් වහන්සේගේ අවවාද පිලිගෙන ඒ අනුව තමන්ගේ ජීවිත හැඩගස්වා ගන්නව නම් අන්න ඒ කෙනා බෞද්ධයෙක්. ඒ කෙනා ලංකාවෙ කෙනෙක් උනත්, ඉංදියාව – බුරුමය – තායිලන්තය – චීනය – එංගලන්තය – ඇමරිකාව ආදී කුමන රටක උපන් කෙනෙක් උනත් එයා බෞද්ධයෙක්. ලංකාවෙ බෞද්ධ දෙමාපියන්ට දාව උපන් දරුවෙක් උනත් බුද්ධ දේශනාව පිළිපදින්නෙ නැත්නම් එයා සැබෑ බෞද්ධයෙක් නෙවෙයි. ඒ නිසා මේ බෞද්ධකම කියන්නෙ යම් යම් ජාතීන්ට අයිති දෙයක් නෙවෙයි. මොනම ජාතියක කෙනෙක් උනත් බුදු දහම අනුව නිවැරදිව තම ජීවිතය හැඩගස්වා ගන්නව නම් ඒකාන්තයෙන්ම ඒ ජීවිත වාසනාවන්ත වෙනව. දුක් දොම්නස් අඩු, ගැටලු වලට මධ්‍යස්ථව නොසැලී මුහුණ දීමට සමත් සාර්ථක ජීවිත බවට පත් වෙනව.

ප්‍රශ්ණය : බොහෝ බෞද්ධයින් සිටින ලංකාවෙත් නිතර විවිධ ගැටලු හා නරක ක්‍රියා ඇතිවෙන අවස්ථා අපිට අහන්න දකින්න ලැබෙනව. මේකට හේතුවත් අපි ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි.

පිළිතුර : මේක අපි ගොඩක් සැලකිල්ලෙන් බැලිය යුතු කාරණයක්. මේ වැරදි කරන බොහෝ දෙනෙක් උපතින් බෞද්ධ උනත් සැබෑවටම බුදු දහම පිළිපදින අය නෙවෙයි. ඒකයි අපි මුලින් මතක් කලේ කෙනෙක් උපතින් බෞද්ධ වෙන්නෙ නෑ කියල. ඒ නිසා මේ තියෙන ගැටලු අවම කරන්න තියෙන එකම ක්‍රමය මේ පිරිසගේ හිත්වල සාරධර්ම ඇති කිරීමයි. ඒ සඳහා මේ බුදු දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පිරිසව උනන්දු කරවන්න ඕන. නිවසේ සිටින කුඩා දරුවාගේ පටන් පාසල් විශ්වවිද්‍යාල ආදී සෑම තැනකම මෙම සාරධර්ම දියුණු කිරීමට මුල් තැනක් දීල ප්‍රායෝගිකව ඒ සාරධර්ම දියුණු කරන ක්‍රමය පිරිසට පුහුණු කරවනව නම් මේ සමාජය ඉතාම ධාර්මික සාමකාමී සමාජයක් බවට පත් කරන්න පුළුවන්. එහෙම නැතිව ලාභ – සත්කාර, නම්බු – නාම ආදිය පසුපසම හඹා යන කෙලෙස් වලින් පිරුණු සමාජයකින් කිසිදාක ධාර්මික සාමකාමී පිරිසක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මේ ලාභ ලැබීමේ චේතනා පසෙක තැබූ ගුණධර්ම දියුණු කිරීමේ චේතනාවටම මුල්තැන දුන්න සමාජයක් ඒකාන්තයෙන්ම සැනසුන සමාජයක් වෙනව. භෞතික සම්පත් කොතරම් තිබුනත් හිත් සතුටින් නැත්නම් ඒ සම්පත් වලින් ඇති ප්‍රයෝජනය මොකක් ද? භෞතික දේවල් අඩු උනත් හිත සතුටින් තියාගන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. ඇත්තටම දුක් අඩුකරන සැප ලබන ක්‍රමය බොහෝ දෙනෙක් නොදන්න නිසයි මේ ගැටලු සියල්ල ඇතිවෙන්නෙ.

ප්‍රශ්ණය : බුදු රජාණන් වහන්සේ දේශනා කළ ඒ දුක් නැතිකරන සැප ලබන ප්‍රතිපදාව ගැන කෙටි හැඳින්වීමක් කරන ලෙස අපි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : බුදු රජාණන් වහන්සේගේ මේ දේශනාව ගැන කෙටියෙන් කියනව නම්, සීල – සමාධි – ප්‍රඥා කියන ධර්ම දියුණු කිරීමයි මේ ප්‍රතිපදාව. මේක කෙනෙකුට කරන්න බැරි අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඇතැම් අය මේ ගැන බාහිරින් බලල මේක කරන්න බැරි දෙයක් කියල හිතන්න ඉඩ තියෙනව. මේ සීලය රකිද්දි තමන්ට අවශ්‍ය විදියට ඉන්න බැහැනෙ, මේක මහ දුකක් කියල කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනව. එහෙම හිතෙන්නෙ ඒ ගැන අත්දැකීම් නැති නිසයි. මුළදි නම් මොනම දෙයක් උනත් අපහසුයි. නමුත් යම් හොඳ දෙයක් හුරු උනාම ඒකෙන් ඇතිවන යහපත අත්දකිද්දි පුදුමාකාර ප්‍රීතියක් ලබනව. මේ ප්‍රතිපදාවත් එහෙමයි. මුළදි කෙලෙස් තද නිසා අපහසුතා ඇතිවෙනව. නමුත් ටිකක් පුහුණු උනායින් පසුව සීලය පලුදු උනොත්, සමාධිය – ප්‍රඥාව පිරිහුනොත් තමයි අපහසුවක් දැනෙන්නෙ. සීලය රකින එක, සමාධි – ප්‍රඥා වඩන එක පහසුවක් විදියට දැනෙනවා. ඒ නිසානෙ කලින් රජසැප විඳල තිබුණ මහාකප්පින, භද්දිය ආදි මහරහතන් වහන්සේල “අහෝ සුඛං, අහෝ සුඛං” කියල මේ පැවිදි සැපය නිවන් සැපය වර්ණනා කළේ. ඒ වගේම මහා සිටු සම්පත් විඳපු රට්ඨපාල, සෝණ, යස ආදී මහරහතන් වහන්සේල බොහෝ දෙනෙක් මේ සාසනයේ සිත් අලවා වාසය කළේ මේ ප්‍රතිපදාවෙ තියෙන ඒ “හිත නිවන” හැකියාව නිසයි. ඇත්තෙන්ම මේ සියලු සත්වයෝ දුක් විඳින්නෙ කෙලෙස් පීඩාවන් නිසයි. ඒ නිසා අපි මේ දුකින් නිදහස් වීමටත් සැප ලැබීමටත් කැමති නම් මේ ප්‍රතිපදාව අනුමනය කරන්නම ඕන.

ප්‍රශ්ණය : එතකොට ස්වාමින් වහන්ස මේ “භාවනාව” මේ ප්‍රතිපදාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද? මේ භාවනාව කියන්නෙ මොකක්ද කියලත් අපි දැනගන්න කැමතියි.

පිළිතුර : ඇත්තෙන්ම මේ සීල – සමාධි – ප්‍රඥා කියන ගුණධර්ම දියුණු කිරීම තමයි භාවනාව කියල කියන්නෙ. ඒ නිසානෙ භාවනා කියන පදය “භාවේති කුසලේ ධම්‌මේ ආසේවති වඩ්‌ඪේති එතායාති භාවනා.” කියල පැහැදිලි කරන්නෙ. ඒකෙ තේරුම “මේ ක්‍රියාව කරණකොටගෙන කුසල් දහම් වඩන්නේය” කියන එකයි. කෙටියෙන්ම කියනව නම් කුසල් දහම් වැඩෙන ක්‍රියාව භාවනාවයි. ඉතිං මේ සීලාදී ප්‍රතිපත්ති පුරන කොට කුසල් දහම් වැඩෙනව.

          නමුත් මෙතනදි දැනගන්න ඕන මේ කුසලයන්ගේ විවිධ මට්ටම් තියෙනව. කාමාවචර කුසල ඒ වගේම රූපාවචර – අරූපාවචර – ලෝකෝත්තර කුසල කියන විවිධ මට්ටම් තියෙනව. ඒවායේ ශක්තියත් එකිනෙකට වෙනස්. ඒ නිසා මේ එකිනෙක කුසලය ලබන්නට භාවනාව කළ යුතු ආකාරයෙත් වෙනස්කම් තියෙනව.

ප්‍රශ්ණය : දාම් ඇදීම, චෙස් ක්‍රීඩාව ආදී ක්‍රියා නිසත් සිතේ එකඟ බවක් ඇතිවෙන නිසා ඇතැම් අය කියනව ඒවත් හොඳ භාවනා ක්‍රම කියල. ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන ලෙස ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනව.

          ඔව් ඒ ක්‍රීඩා වලදිත් හිතේ ඇතැම් ධර්මවල දියුණුවක් වෙනව. නමුත් බුදු දහමට අනුව “භාවනා” කියල අදහස් කරන්නෙ කුසල් දියුණු වෙන්න හේතු වෙන ක්‍රියා පමණයි. ඒ වගේ ක්‍රීඩා වලදි බොහෝ සෙයින්ම ලෝභාදී කෙලෙස් තමයි වැඩෙන්නෙ. ඒ නිසා ඒව බුදු දහමෙ කියැවෙන භාවනා වලට ඇතුලත් වෙන්නෙ නෑ. සමාධිය කියල කියන්නෙ සිතේ තියෙන ඒකාග්‍රතාවය කියන චෛතසිකයටයි. ලෝභාදී අකුසල සිත් වලත් මේ ඒකාග්‍රතාවය තියෙනව. නමුත් ඒක එතරම් බලවත් නෑ. මොකද එකඟකමට විරුද්ධ උද්ධච්චය ආදී ධර්මත් අකුසල හිත්වල තියෙනවනෙ. ඒ නිසා මේ වගේ ක්‍රීඩා වලින් කවදාවත් ධ්‍යාන මට්ටමේ එකඟතාවක් ඇතිවෙන්නෙ නෑ. ඒ වගේම අකුසල සිතක ඇති එකඟකම කවදාවත් යහපත් විපාක ගෙනත් දෙන්නෙත් නෑ. යහපත් විපාක ගෙනත් දීමේ ශක්තිය තියෙන්නෙ කුසල සිත් වලට පමණයි. ඒ නිසා නිවන් අවබෝධ කිරීම කියන උතුම් පරමාර්ථය ලඟාකර ගැනීමට නම් ඉතාමත් පිළිවෙලට කුසල් දහම් වැඩීම කරන්න අවශ්‍යයි. ඒ ගැන බුදු රජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනා වලදි ඉතාම විචිත්‍ර විදියට පැහැදිලි කරල තියෙනව. යම් කෙනෙක් ඉතාම උනන්දුවෙන් ඒව නිවැරදි ක්‍රමයට ජීවිතයට හුරුකර ගන්නව නම් ඒකාන්තයෙන්ම දුක් දොම්නස් දුරු කරගෙන සැනසීමක් ලබන්න පුළුවන්. ලෝකයේ සියළුම දෙනා මේ විදියට කුසල් දියුණු කරන්න පෙළ ගැහෙනව නම් මේ තියෙන සියළුම ගැටලු අවසන් වෙනව. ඒ නිසා සියලුම සත්වයින්ට ගුණධර්ම දියුණු කිරීමට හිත් පහළ වේවා කියල අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු.

පුණ්‍යානුමෝදනාව : ගෞරවණීය ස්වාමින් වහන්සේ ඉතාම සරලව පැහැදිලිව භාවනාව කියන්නෙ මොකක්ද කියල අපිට පැහැදිලි කළා. ඉදිරියෙදි ක්‍රමාණුකූලව භාවනාව කරන ආකාරයත් අපිට විස්තර කර දෙන සේක්වා කියන ආරාධනාවත් කරනව. ඒ වගේම  ස්වාමින් වහන්සේට මේ කරන සාසනික කටයුතු සාර්ථකව සිදුකරන්නට සෑම පහසු විහරණයක්ම සැලසේවා. ඉක්මනින්ම නිවන් අවබෝධය පිණිසත් හේතු වේවා කියල පින් අනුමෝදන් කරනවා.

සාධු! සාධු!! සාධු!!!

 

දහම් කරුණු පහදා දීම : නාඋයන අරණ්‍ය සේනාසනාධිපති කර්මස්ථානාචාර්ය අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද මාහිමිපාණන් වහන්සේ

to top