Categories
Articles - Sinhala

වේදල්ල (15 වන කොටස)

මෛත්‍රී භාවනාව 4 කොටස - මෛත්‍රිය පැතිරවීම

පසුගිය දිනවල අපි මෛත්‍රී භාවනාව ආරම්භයේ පටන් භේදයකින් තොරව සියලු දෙනාට මෙත් වැඩීම (සීමා සම්භේදය) දක්වා කටයුතු කළ යුතු ආකාරය ගැන දැන ගත්තා. මෙතැන් පටන් ඉදිරියට භාවනාව කළ යුතු ආකාරය අපට පැහැදිලි කර දෙන සේක්වා කියල අපි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර :  තෙරුවන් සරණයි. කලින් තමා, ප්‍රිය පුද්ගලයා, මධ්‍යස්ථ පුද්ගලයා, වෛරී පුද්ගලයා යන කොටස් හතරටම වෙනසක් නැතිව සමව මෛත්‍රී වඩන්න පුලුවන් තත්වය දක්වා එහෙම නැත්නම් සීමා සම්භේදය දක්වා මෛත්‍රී භාවනාව වඩන ආකාරය අපි ඉගෙන ගත්තා. එයින් පසුව මෛත්‍රිය පැතිරවීම ක්‍රම කීපයකට කරන ආකාරය පටිසම්භිදා මාර්ගය, විශුද්ධි මාර්ගය වැනි ධර්ම ග්‍රන්ථවල විස්තර ඇතිව දක්වා තිබෙනවා. මෙසේ සියලු දෙනා අරමුණු කරමින් සහ දිශා ආදියට පතුරුවමින් මෛත්‍රිය වඩන් පුලුවන් වෙන්නෙ සීමා සම්බේදය කිරීමෙන් පසුවයි. ඒ දක්වා දියුණු නොකළ පුහුණු නොකළ කෙනෙක් මෙම මෛත්‍රිය පැතිරවීම කරන්න උත්සාහවත් උනාට සාර්ථක නොවන බව ධර්ම ග්‍රන්ථවල පැහැදිලි කරල තියෙනවා. 

මෙහිදී මෛත්‍රිය පැතිරවීම ප්‍රධාන ක්‍රම 3කට දක්වා තිබෙනවා. 

අත්‌ථි අනොධිසො ඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති, අත්‌ථි ඔධිසො ඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති, අත්‌ථි දිසාඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති. කතිහාකාරෙහි අනොධිසො ඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති, කතිහාකාරෙහි ඔධිසො ඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති, කතිහාකාරෙහි දිසාඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති? පඤ්‌චහාකාරෙහි අනොධිසො ඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති, සත්‌තහාකාරෙහි ඔධිසො ඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති, දසහාකාරෙහි දිසාඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති. (පටිසම්භිදාමග්ගපාලි – මෙත්තාකථා)

ඒ විස්තරයට අනුව

  1. අනෝධිසෝ ඵරණ (සියලු දෙනාටම) පතුරවන ක්‍රම 5
  2. ඕධිසෝ ඵරණ (පිරිස් වර්ග කරමින්) පතුරවන ක්‍රම 7
  3. දිසා ඵරණ (දිසාවන්ට) පතුරුවන ක්‍රම 10

ප්‍රශ්ණය : මේ ක්‍රම එකිනෙකක් කෙටියෙන් හෝ පැහැදිලි කරදෙන සේක්වා කියල අපි ස්වාමින් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර : මේ පළමු ක්‍රමයේදී ඒ කියන්නෙ අනෝධිසෝ (සියලු දෙනාටම) පතුරවන ක්‍රමයෙදි පෙර අපි සඳහන් කළ “වෛර නැත්තෙක් වේවා, තරහ නැත්තෙක් වේවා, දුක්පීඩා නැත්තෙක් වේවා, සුවපත් වේවා” යන  පද එකිනෙකක් යොදා ගනිමින් සියලු සත්වයින් අරමුණු කරමින් මෛත්‍රී වඩන්න පුලුවන්. මේ සඳහා යොදාගන්න  වචන 5ක් දක්වලා තියෙනවා. ඒ නිසයි ක්‍රම 5ක් කියල දක්වන්නේ. වචන වෙනස් උනාට ඒ එකිනෙක වචනයේ අර්ථ වෙනස් උනාට මේ ක්‍රමයෙදි සත්වයින් වෙන් කරන්නෙ නෑ. හැම වචනයක දී ම “සියලු සත්වයෝ” කියන අර්ථය තමයි ගන්නෙ. ඒ වචන 5 පහත පරිදියි.

  1. සබ්බේ සත්තා (සියලු සත්වයෝ)
  2. සබ්බේ පාණා (සියලු ප්‍රාණීහු )
  3. සබ්බේ භූතා (සියලු භූතයෝ)
  4. සබ්බේ පුග්ගලා (සියලු පුද්ගලයෝ)
  5. සබ්බේ අත්තභාවපරියාපන්නා (සියලු ආත්මභාව ඇත්තාහු)

මේ එකිනෙක වචනයක් ඉහත “වෛර නැත්තෝ වෙත්වා” යනාදී වචන 4 සමග යොදා “සබ්බේ සත්තා අවෙරා හොන්තු (සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා), සබ්බේ සත්තා අබ්‍යාපජ්ජා හොන්තු (සියලු සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා) …” යනාදී විදියට ඉහත වචන 5 සමග වෙන වෙනම ධ්‍යාන 20ක් ඉපදවිය හැකි ආකාරය දහම් ග්‍රන්ථවල පැහැදිලි කරනවා. ඒ බව පහත දේශනා පාඨයෙන් පැහැදිලි වෙනවා.

කතමෙහි පඤ්‌චහාකාරෙහි අනොධිසො ඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති? සබ්‌බෙ සත්‌තා අවෙරා අබ්‍යාපජ්‌ජා අනීඝා සුඛී අත්‌තානං පරිහරන්‌තු. සබ්‌බෙ පාණා…පෙ.… සබ්‌බෙ භූතා…පෙ.… සබ්‌බෙ පුග්‌ගලා…පෙ.… සබ්‌බෙ අත්‌තභාවපරියාපන්‌නා අවෙරා අබ්‍යාපජ්‌ජා අනීඝා සුඛී අත්‌තානං පරිහරන්‌තූති. ඉමෙහි පඤ්‌චහාකාරෙහි අනොධිසො ඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති. (පටිසම්භිදාමග්ගපාලි – මෙත්තාකථා)

ඒ ධ්‍යාන ඉපදවිය හැකි පද 20 පහත පරිදියි.

  1. සබ්බේ සත්තා අවෙරා හොන්තු (සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා)
  2. සබ්බේ සත්තා අබ්‍යාපජ්ජා හොන්තු (සියලු සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා)
  3. සබ්බේ සත්තා අනීඝා හොන්තු (සියලු සත්වයෝ දුක්පීඩා නැත්තෝ වෙත්වා)
  4. සබ්බේ සත්තා සුඛී අත්තානං පරිහරන්තු (සියලු සත්වයෝ සුවසේ ආත්මය පරිහරණය කරත්වා)

මේ තැන්වල යෙදෙන “සබ්බේ සත්තා (සියලු සත්වයෝ)” යන පදය වෙනුවට ඉතිරි පද 4 මාරු කරමින් භාවනාව සිදු කිරීමෙන් වෙනස් ධ්‍යාන 20ක් ලැබෙනවා.

මේ අනෝධිසෝ ඵරණ (සියලු දෙනාටම) මෛත්‍රිය පතුරවන ක්‍රම 5යි.

ප්‍රශ්ණය : මීලඟ ඕධිසෝ ඵරණය කියන්නෙ පිරිස වෙන් කරගෙන මෛත්‍රී වඩන ක්‍රමයට ද ස්වාමින් වහන්ස?

පිළිතුර : ඔව්, මේ ක්‍රමයෙදි වෙනසකට තියෙන්නෙ ඉහත දැක්වූ ක්‍රමයෙදි “සියලු සත්වයෝ” කියන අර්ථය තියෙන වෙන වෙන වචන 5ක් යොදා ගත්ත. නමුත් මේ ක්‍රමයෙදි වෙනස් වෙනස් අර්ථ තියෙන, වෙනස් සත්ව කාණ්ඩ 7කට වෙන වෙනම මෛත්‍රිය පතුරවනවා. ඒ සඳහාත් කලින් විදියටම “වෛර නැත්තෝ වෙත්වා” යනාදී පාඨ 4ම යොදා ගන්නවා. මෙහිදී වෙනස් සත්ව කාණ්ඩ 7ක් යෙදෙන නිසා එකිනෙකට වෙනස් ධ්‍යාන 28ක් ලබන්න පුලුවන්. 

  1. සබ්බා ඉත්ථියෝ (සියලු ස්ත්‍රීහු)
  2. සබ්බේ පුරිසා (සියලු පුරුෂයෝ)
  3.  සබ්බේ අරියා (සියලු ආර්යයෝ)
  4. සබ්බේ අනරියා (සියලු අනාර්යයෝ)
  5. සබ්බේ දේවා (සියලු දෙවියෝ)
  6. සබ්බේ මනුස්සා (සියලු මිනිස්සු)
  7. සබ්බේ විනිපාතිකා (සියලු විනිපාතිකයෝ)

මේ ගැන දැක්වෙන දේශනා පාඨය පහත පරිදියි.

කතමෙහි සත්‌තහාකාරෙහි ඔධිසො ඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති? සබ්‌බා ඉත්‌ථියො අවෙරා අබ්‍යාපජ්‌ජා අනීඝා සුඛී අත්‌තානං පරිහරන්‌තු. සබ්‌බෙ පුරිසා…පෙ.… සබ්‌බෙ අරියා…පෙ.… සබ්‌බෙ අනරියා…පෙ.… සබ්‌බෙ දෙවා…පෙ.… සබ්‌බෙ මනුස්‌සා…පෙ.… සබ්‌බෙ විනිපාතිකා අවෙරා අබ්‍යාපජ්‌ජා අනීඝා සුඛී අත්‌තානං පරිහරන්‌තූති. ඉමෙහි සත්‌තහාකාරෙහි ඔධිසො ඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති. (පටිසම්භිදාමග්ගපාලි – මෙත්තාකථා)

ඒ ධ්‍යාන ඉපදවිය හැකි පද 28 පහත පරිදියි.

  1. සබ්බා ඉත්ථියෝ අවෙරා හොන්තු (සියලු ස්ත්‍රීහු වෛර නැත්තෝ වෙත්වා)
  2. සබ්බා ඉත්ථියෝ  අබ්‍යාපජ්ජා හොන්තු (සියලු ස්ත්‍රීහු තරහ නැත්තෝ වෙත්වා)
  3. සබ්බා ඉත්ථියෝ අනීඝා හොන්තු (සියලු ස්ත්‍රීහු දුක්පීඩා නැත්තෝ වෙත්වා)
  4. සබ්බා ඉත්ථියෝ සුඛී අත්තානං පරිහරන්තු (සියලු ස්ත්‍රීහු සුවසේ ආත්මය පරිහරණය කරත්වා)

මේ තැන්වල යෙදෙන “සබ්බා ඉත්ථියෝ (සියලු ස්ත්‍රීහු)” යන පදය වෙනුවට ඉතිරි පද 6 මාරු කරමින් භාවනාව සිදු කිරීමෙන් වෙනස් ධ්‍යාන 28ක් ලැබෙනවා.

මෙහිදී දිශා වශයෙන් නොසලකා සියලු දිශාවන්හි වාසය කරන ස්ත්‍රීහු යනාදී ලෙස අරමුණු කරන්න ඕන. මේ ඕධිසෝ ඵරණ (පිරිස් වර්ග කරමින්) මෛත්‍රිය පතුරවන ක්‍රම 7යි.

ප්‍රශ්ණය : මෙම මෛත්‍රිය දිශාවන්ට පතුරුවන ක්‍රමයත් අපට පැහැදිලි කර දෙන සේක්වා කියල ස්වාමින් වහන්සේට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා.

 පිළිතුර : ඉහත ක්‍රම දෙක පුහුණු කළ යෝගීන්ට මේ දිශාවන්ට පැතිරවීම පහසුවෙන් කරන්න පුලුවන්. මෙහිදී ඉහත ක්‍රම දෙකේදී භාවිතා කළ වචන 48ම දිශා 10ට වෙන වෙනම යොදා මෛත්‍රී කරන්න ඕන. මේ ක්‍රමයෙන් වෙනස් වෙනස් ධ්‍යාන 480ක් ලබන්න පුලුවන්. මේ ක්‍රමයේදී දැක්වෙන දිශා 10 පහත පරිදියි.

  1. පුරත්‌ථිමා දිසා (නැගෙනහිර දිශාව)
  2. පච්‌ඡිමා දිසා (බටහිර දිශාව)
  3. උත්‌තරා දිසා (උතුරු දිශාව)
  4. දක්‌ඛිණා දිසා (දකුණු දිශාව)
  5. පුරත්‌ථිමා අනුදිසා (ගිණිකොන දිශාව)
  6. පච්‌ඡිමා අනුදිසා (වයඹ දිශාව)
  7. උත්‌තරා අනුදිසා (ඊසාන දිශාව)
  8. දක්‌ඛිණා අනුදිසා (නිරිත දිශාව)
  9. හෙට්‌ඨිමා දිසා (යට දිශාව)
  10. උපරිමා දිසා (උඩ දිශාව)

මේ ගැන දැක්වෙන දේශනා පාඨය පහත පරිදියි.

කතමෙහි දසහාකාරෙහි දිසාඵරණා මෙත්‌තාචෙතොවිමුත්‌ති? සබ්‌බෙ පුරත්‌ථිමාය දිසාය සත්‌තා අවෙරා අබ්‍යාපජ්‌ජා අනීඝා සුඛී අත්‌තානං පරිහරන්‌තු. සබ්‌බෙ පච්‌ඡිමාය දිසාය සත්‌තා …පෙ.… සබ්‌බෙ උත්‌තරාය දිසාය සත්‌තා …පෙ.… (පටිසම්භිදාමග්ගපාලි – මෙත්තාකථා)

මේ ක්‍රමයට ධ්‍යාන 480ක් උපදවන රටාව පහත පරිදියි.

  1. පුරත්‌ථිමාය දිසාය සබ්බේ සත්තා අවෙරා හොන්තු (නැගෙනහිර දිශාවේ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා)
  2. පුරත්‌ථිමාය දිසාය සබ්බේ සත්තා අබ්‍යාපජ්ජා හොන්තු (නැගෙනහිර දිශාවේ සියලු සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා)
  3. පුරත්‌ථිමාය දිසාය සබ්බේ සත්තා අනීඝා හොන්තු (නැගෙනහිර දිශාවේ සියලු සත්වයෝ දුක්පීඩා නැත්තෝ වෙත්වා)
  4. පුරත්‌ථිමාය දිසාය සබ්බේ සත්තා සුඛී අත්තානං පරිහරන්තු (නැගෙනහිර දිශාවේ සියලු සත්වයෝ සුවසේ ආත්මය පරිහරණය කරත්වා)

 

මෙහි යෙදෙන “සබ්බේ සත්තා (සියලු සත්වයෝ)” යන පදය වෙනුවට පෙර අනෝධිසෝ හා ඕදිසෝ ක්‍රම දෙක යටතේ දැක්වූ පද 12 වෙන වෙනම යෙදීමෙන් “නැගෙනහිර” දිශාව පමණක් අරමුණු කර ධ්‍යාන 48ක් ඉපදවිය හැකියි. මෙම වාක්‍ය 48හි ඇති “පුරත්‌ථිමාය දිසාය (නැගෙනහිර දිශාවේ)” යන පදය වෙනුවට අනෙක් දිශා 9 වෙන වෙනම යෙදීමෙන් දිශා 10ට ධ්‍යාන 480ක් ලැබේ. 

දිශා වශයෙන් 480ක් හා දිශා අරමුණු නොකර ලැබූ ධ්‍යාන 48 යන සියල්ල ගත්විට මෙම මෛත්‍රී භාවනාවෙන් වෙන වෙනම ධ්‍යාන 528ක් ලබාගන්න පුලුවන්. මේ ලෝකයේ සිටින සියලුම දෙනාට මෙම මෛත්‍රී භාවනාව නිවන දක්වාම පුරුදු කරන්නට ලැබේවා, සියලුම ලෝක සත්වයා සියලු දුකින් මිදී සුඛී සුවපත් බවට පත් වේවා කියල අපි මෛත්‍රියෙන් ආශිර්වාද ප්‍රාර්ථනා පවත්වනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.